මුල් කොටස – https://trip.lk/index.php/2020/09/21/hiking-alugalkanda-in-kuckles/
අමාරු ගමනක් යනවනම් 4ක් තමා ඉන්න ඕන ගාන.ඉතින් අකමැත්තෙන් උනත් යාලුවො දෙන්න නැවත පැය දෙකකින් මෙතනට පැමිණෙන පොරොන්දුව පිට අලුගල්කන්ද බලා පිටත් වෙනවා. මගේ තනියට බල්ලො හතරදෙනාගෙන් කිහිපදෙනෙක් තියාගන්න උත්සාහ කලත් උන් හතරදෙනාම ගත්තෙ එදින ජයග්‍රාහකයන් දෙදෙනාගෙ පැත්ත. මං තනියෙන්. ඇතැම් අවස්තාවල ” මට බලු බල්ලෙක්
නෑ ” කියල ඔය සමහරු කියන කතාව එදා තමා මට හරියටම තේරුණේ
මගේ නරක වේලාව උදා උනේ ඉන් පසුව තමා.මුලු පරිසරටම මීදුමෙන් වෙලාගත්තා. සීතල සුලං සහ පොද වැස්ස දිගටම. මං සීතලේ ගැහි හැහි බලාපොරොත්තුවෙන් ඉන්නවා යාලුවො නැවත එනකං . කරුමෙට මගෙ ෆෝන් එකේ බැටරිය ඉතා ඉක්මනින් ක්ෂය වෙන්න ගත්ත.අවට පරිසරයම මීදුම් අන්ධකාරයෙන් වෙලාගෙන. මහ වනයේ මිනිස් පුලුටක් නැතුව ඉඳීම මඳ චකිතයකුත් ගෙදුන්නා.ඈතින් සැරින් සැරේ මිතුරො දෙදෙනාගෙ කටහඩ වගේ හඬවල් ඇහුනත් ඒවා සත්‍ය කටහඬවල් නොවන බව පසුව තේරුණා. කෙමෙන් කෙමෙන් කාල වේලාව නික්ම යනව. 3.15, 4.00, 4.30. යාලුවො දෙදෙනා තවම නෑ..ඔවුන්ට කරදරයක් වත් වෙලාද .නැත්තම් ඔවුන්ට හිතුවට වඩා කාලයක් ගිහින් ද. අනපේක්ෂිත ලෙස ඔවුන්ට කැලයේ රෑ ඉන්න වෙයිද?? ඉක්මනින් තීරණයක් ගත යුතුයි. කෙසේ හෝ නකල්ස් පීක් ට්‍රේල් එකට යාගත්තොත් කරුවලේ හරි ගමට ගියහැකි. නැත්තම් එම ට්‍රේල් එකේ කඳවුරු බඳින කුමන හෝ කණ්ඩායමක් මුණ ගැසී මිතුරන් එනතුරු එතන හිටියැහැකි . දැන් 4.45යි .තීරණය ගත්තා ආපසු හැරෙන්න.
ඒත් කෝ එයට සුදානමක්
ෆෝන් එක හීතලට ඕෆ් වෙලා. මැප් එක බලාගන්නවත් විදිහක් නෑ. නකක්ස් පීක් ට්‍රේල් එකේ ඇස් වහගෙන උනත් යන්න පුලුවන් උනාට තුන්වෙන පීක් එකේ ඉඳන් මෙතනට ආපු විදිහ මතකයේ නැ. ඒක හොයාගන්න මැප් එක ඔන් කරන්නත් බෑ..
පවර් බෑන්ක් එක..යාළුවන් ගාව තියෙනවා. මා ගාව නෑ
හෙඩ් ටෝච් ??යාලුවො ගාව තියෙනව .මා ගාව නෑ
ලයිටරයක් හෝ ගිනිපෙට්ටියක්?? යාලුවො ගාව තියෙනව මා ගාව නෑ…
***අන්න ඒක තමා මට කියන්න ඕනෙ කාරණය. ඉහත කියූ දේවල් නඩේ 10ක් ඉඳල 9 දෙනෙක් ගාව තිබ්බත් වැඩක් නෑ තමා ගාව නැත්තම්.හදිසි අවස්තාවන් එන්නෙ කලින් කියල නෙමේ***
කෑම බිම?? ඔව් ටිකක් තියෙනව . එත් යාලුවො කුමන තත්වෙන් ආපසු ඒවිද නොදත් නිසා කෑම බීම , වතුර ඔවුන් දමාගිය බෑගයක දමා බෑගය පෙනෙන පරිදි ගසක එල්ලා මා නැවත පිටත් වෙනවා. ඇපල් ගෙඩියක් සහ වතුර බෝතලයකින් කාලක් පමණ අරගෙන.
හවස 6 වනකොටවත් 3 වන පීක් එකට ගියොත් අඩුම ගානෙ බඹරැල්ලට හරි කොහොමහරි බැහැගත්තැහැකි . නැත්තම් කෑම්ප් කරන නඩයකට සෙට් වෙලා හිටියැහැකි. ඒත් අඩිපාරක් නොමැතිව අප සිටි තැන සිට තව කුඩා කඳු ගැට දෙක තුනක් පසුකට යා යුතුයි . ඒත් නකල්ස් වලට මීදුම ගැසුවාන් පස්සෙ වෙන සන්තෑසිය දන්නෙ එක අත්විඳපු කෙනෙක්ම තමයි. වෙන්න පුලුවන් ලොකුම දේ උනා. මීදුම අස්සෙන් කැලෑවෙ එහෙ මෙහෙ ගිහින් පාර වැරදුනා.යා යුතු මගක් සොයාගත නොහැකිව ඉබාගාතෙ ඇවිදිමින් පැය එකහමාරක් විතර නාස්ති වුනා..හෙල් වල වැටි වැටි මඩ ගොඩවල් වල එරි එරි වචනයේ පරිසමාප්තියෙන්ම කොලෑ උනා.
ඉන්න තැන ගැන කිසි අවබෝධයක් නෑ. මහ හඬින් කිහිප විටක් හූ තියමින් කෑ ගැසුවේ ලඟපාතින් කවුරු හෝ නඩයක් සිටියානම් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන්.ඒත් එහෙම වුනේ නෑ.මීදුම් අඳුර පරයමින් රාත්‍රී අඳුර ලඟාවුනා.තව යනවද ? වෙලාව හයාමාරට කිට්ටුයි…අමාරු උනත් නිවැරදි තීන්දුව ගන්න උනා.
***පලමුවෙනි දේ තමයි ජීවිතේ යම් අවස්තාවක අන්තයටම වැටුනු විටකදි ඒ බව සිතින් පිලිගන්න එක. “ඔව් දැන් මං අතරමං වෙලා ඉන්නෙ” කියල ඉස්සෙල්ලම පිලිගන්න ඕනෙ. තව තව හිතට එහෙම නෑ කියල ඉබාගාතෙ වැඩ කරල තමාව කරදරේ දාන එක මෝඩ වැඩක්. එහෙම හිතුනාම හිත පොඩ්ඩක් සංසුන් වෙනවා.එතකොට හිතෙනව ඊගාවට කල යුතු දේ***
මගෙ ජීවිතේ හැමදාම කියපු, අනුගමනය කරපු දෙයක් තමා රාත්‍රියේදි වනාන්තරයෙ ඇවිදින්න හොඳ නෑ කියන එක.
***දවල් මිනිස්සුන්ට. රෑ අයිති කැලේට, සත්තුන්ට ***
ඔව් කරන්න දෙයක් නෑ අද රෑ මං කැලේ ඉන්නවා…කෑමත් නැතුව, වතුරත් නැතුව, වැඩිපුර ඇඳුමක් වත් නැතුව, තෙත බරියං වෙච්ච ඇඳුම පිටිං.ඊට අමතරව ගිනිමැලයක් ගහගන්න ගිනිපෙට්ටියක් වත් නෑ.ටෝච් එකක් වත් නෑ. කරන්න දෙයක් නෑ.ඒත් ඉන්නවා. මොකද අඳුරේ කැලේ ඇවිදින එක ඊට වඩා භයානකයි.හෙට එලි වෙනකම් ඉන්නවා .ඔව් ජීවත්ව හිටියොත් හෙට උදේ ආපහු පටන් ගන්නවා.
මා හිටපු තැන තිබ්බෙ වේළුණු බට ගාලක් . උඩින් තුරු වියන . ඊට මීටර දෙකක් පහලින් මීටරේ මීටරේ දිග පලලැති ගල් පොත්තක්.මා ගල් පොත්තට බැහැගත්තා. ගල්පොත්තට පහලින් මීටර් පහක විතර හෙලක් .පහලින් කුඩා වතුර පහරක ශබ්දයක් ඇසුනත් එතනට බහින්න කරුවලේ අමාරුයි .අනික මා සිටි ගල්පොත්ත සතෙකුට උනත් ලේසියෙන් ලඟාවෙන්න පුලුවන් එකක් නෙමේ..ඒනිසා ගල්පොත්ත උඩ රෑ ගත කරනවා කියා සිතුවා.මුලින්ම ඇඳුම් සියල්ල ගලවා හොඳින් මිරිකා ආපහු ඇඳගත්තා. සපත්තු පවා නැවත දමාගත්තා..ඉන් පසු ගල් පොත්ත මත වකුටු වී වාඩි උනා . විටින් විට ගස් දිගේ වැටුනු වැසි වලින් හිස ආරක්ෂා කිරීමට ඔලුවට ශොපින් බැගයක් දමා ගත්තා. ගමන් බෑගයේ සිප් එක ඇර අත් දෙක ඒක ඇතුලට දමාගෙන බෑගය පපුවට තුරුලු කරං හිටියා.පැය 12ක් ගත කිරීම තමා අභියෝගය.ඇපල් ගෙඩියෙන් චුට්ට චුට්ට කමින් වතුර් උගුරින් උගුර බොමින් හිටියා.7, 8, 9, ඔහොම වේලාව ගතවුනා..( ෆෝන් එක ඕෆ් උනාට ඒක ඔන් කලාම තප්පර 15කට පමන ඔන් වී ආපහු ඕෆ් වෙනවා .එතකොට තමයි වෙලාව බලාගත්තේ )
පැයක් කියන්නේ කොච්චර දිග දෙයක්ද කියල තේරුනෙ එතකොට.මීටර් 1800 වගේ උසක මඳ වැස්සෙ මදිවට ඇටකටු පසාරු කරගෙන යන සීත සුලං, ඉදිරියෙන් කිසිවක් නොපෙනෙන තරමට කෑලි කපන අඳුර, පහලින් හෙල..වනසතුන්…කූඩැල්ලන් ලේ උරාබීපු තැන් වල ලොවි ගෙඩි තරමට ලොකුවෙලා . තව තව හිතට එන හොල්මන් අවතාර වගේ දේ…හැබැයි මට මේ කිසිවක් ගැන කිසි බයක් නැතිව සිත තබාගන්න පුලුවන් උනා..පැයෙන් පැය ඉඳීම තමා එකම අරමුණ.ඒත් රාත්‍රී සීතල නම් උහුල ගන්නම බෑ . පපුව ඇතුලෙන් හදවත ඩිගි ඩිගියෙ ගැහෙනවා.මට බය තිබ්බෙ හීතලට පපුව පැලෙයි කියලා.සීතල මැඩගන්න සැරින් සැරේ හූ හඬ දුන්නා.
“පුතා , නරක දේ උනත් ඕන වෙන වෙලාවල් තියෙනවා ” මේ කාලෙකට කලින් ඇටැන්වල ඒකනායක මාමා මට කියපු කතාවක්. අලුගල් කන්ද ගමන මන්දගාමී වෙන්න බලපාපු මගේ ඇඟේ තෙල් තට්ටුවම මට මේ වෙලාවෙදි පිහිට උනා.ඇත්තටම කෙට්ටු හාදයෙක්ට නම් තෙත බරියං වෙච්ච ඇඳුම් එක්ක පට්ට හීතලේ කෑම නැතුව ගිනිමැලයක් වත් නැතුව මේ රැය ඉන්න පුලුවන් වේවි කියල මට හිතෙන්නෙ නෑ.ඇපල් ගෙඩියත් ඉවරයි..වතුරත් ඉවරයි .ඔලුවට දාං හිටිය ශොපින් බෑග් එකේ රැඳුනු වැසි වතුර සැරින් සැරේ තොල කට ගාමින් පිපාසය නිවා ගත්තා..
රාත්‍රී 11ට පසුව වේලාව බලාගන්නවත් ෆෝන් එක ඔන් උනේම නෑ. දැන් එකම අභිප්‍රාය එලිවෙනකම් බලා සිටීම.ඒකත් ලේසි නෑ . කාලය යන්නෙත් නෑ . අදහසක් ගන්නත් බෑ..බලං ඉඳීම හැර වෙන කරන්න දේකුත් නෑ.. හිතට නොයෙක් සිතුවිලි ආවා.ගෙදර අය , යාලුවො, සුරතල් සතුන් ඔක්කොම මතක් වුනා. ඒ ඔක්කොටමත් වඩා හෙට දින මා සොයා නකල්ස් කැලේ පීරන ගම්මු, පොලීසි, හමුදාව. ඒ වගේම පත්තර වල ලිපි. ඒ වගේම් මඩ ගසන්නට සිටින උදවිය . “මහලොකු ට්‍රැවල් ඔස්තාර් නකල්ස් වල අතරමං වෙලා හි.හි .” කමක් නෑ ඒව එකක්වත් වැඩක් නෑ.. දැන් කරන්න තියෙන්නෙ හෙට උදේ වෙනකං ජීවත් වීම. එකම අරමුණ ඒක. ආන්න එහෙම හිතනකොට හිත තැන්පත් උනා. සීතල අස්සෙ වුවත් පොඩි පොඩි කුකුල් නින්දවල් ගියා. ඒත් ඇහැරුනේ ශරීරයේ සමතුලිතතාව නැතිවි පහලට ඇදෙවැටෙන්න ගිය විට.කොහොම කොහොම හරි ජීවිතයේ දිගුම රැය අවසන් කර ගෙවා දැම්මේ ගස් අතරින් අඳුර මැඩගෙන මඳ ආලෝකයෙන් යුතු සූරිය කිරණ ගලාගෙන එද්දී. හම්මේ, මිෂන් එකේ එක පියවරක් සාර්තකව අවසන්. “ඔව් ඔයා ඒක සාර්තකව කලා හරින්ද , yes you did it “ජීවිතයේ සමහර අවස්තාවල කිසි දෙයක් නොකර සිත එකතැනක තියාගෙන ගල් පිලිමයක් වගේ ඉඳීමත් කොච්චර වීර ක්‍රියාවක්ද කියල හිතෙන්න ගත්තා. එය ශරීරයට අධික දුකක් දී කරන පැය 10-12 ක ව්‍යායාමයකට වඩා සියගුණයකින් ප්‍රබලයි.
මා සිටි තැනින් නැගිට්ටා..ඒ සැනින්ම මාගේ සමතුලිත තාව බිඳවැටී මා ඇදවැටුනා. පහල හෙලට නොවැටී බේරුනේ අනූ නමයෙන්.රාත්‍රිය පුරා නිසි ආහාරයක් නොමැතිව , පිපාසිතව සීත සුලං වලට , වැස්සට අසුවීම නිසා ක්ලාන්ත ගතියක් මතුවී තිබ්බා.ඉඳගෙන නැවත කල්පනා කලා. පලමු අදියර හරි .දැන් ඊගවට මොකද කරන්නෙ. ක්ෂණයෙන් ඔලුවට දෙවෙනි ගෝල්ඩන් රූල් එක ආවා.
***ඉන්න තැන ගැන කිසිම අදහසක් නැතිව කැලේක අතරමං උනොත් එකම දිශාවට ගමන් කරන්න ඕනේ .මොකද ලංකාවෙ කැලැ එතරම් ලොකු නෑ.දවසක් හරියට ඇවිද්දොත් එලියට ආවැකි. කඳුකර ඝන වනාන්තරයකනම් ඒ තියරිය මඳක් වෙනස් කරන්න ඔනේ .ඒ තමා දිය පාරක් දිගේ දිගටම බහින්න ඕනේ. අනිවාර්යෙන් දියපාර ඔයක් , ගඟක් වෙලා ගම්මානයක් ලඟින් යනවා***
ඉතිං මැප් gps මොනවත් නැති මටත් කරන්න ඉතුරු වුනේ ඒක. අලුගල් කන්දේ එක් බෑවුමක් මීමුරේ කයිකාවල ,පුස්සෙ ඇල ,කරඹකැටිය ගම්මාන වලට මුහුණලා තියෙන්නෙ.ඉතින් මේ වතුරපාර දිගේ දිගටම බැස්සොත් ඉහතින් කී ගම්මානයක් හරහා යන්න ඕනෙ. ඒ වගේම වාසනාව තිබ්බොත් මේ වතුර පාර තංගප්පුව – අලුගල්ලෙන මං පෙත හරහා යන්න ඕනෙ. ( අලුගල් ලෙන කියන්නෙ අලුගල්කන්ද පාමුලම මීමුරේ පැත්තට කිට්ටුව තියෙන විශාල ලෙනක් ). ඒ අවබෝධය ලැබුණෙ මිට කලින් කිහිප සැරයක් අලුගල්ලෙන මං පෙත කරද්දි ලබපු අත්දැකීමෙන්. දියපාරවල් කිහිපයක් මං පෙත හරහා යනව කියල කලින් ලබාගත් දැනුමින්..අත්දැකීම් වටින්නෙ මෙතනදි. අවාසනාවට යම් හෙයකින් මේ දියපාර මීමුරෙන් එහාට කලුපහන පැත්තට ගියොත් තමා ප්රෂ්නෙ..ඒත් එහෙම වීමට තියෙන චාන්ස් එක අඩුයි. රිස්ක් එක ගන්න වෙනවා..
මා සිටි තැනේ ඉඳල පහල හෙලට බැස්සා.පස්සෙන් ලිස්සගෙන වැඩි අනතුරක් නැතිව.