Part 2 – – https://trip.lk/index.php/2020/09/28/hiking-alugalkanda-in-kuckles-2
මා සිටි තැනේ ඉඳල පහල හෙලට බැස්සා.පස්සෙන් ලිස්සගෙන වැඩි අනතුරක් නැතිව.
***ප්‍රපාතාකාර ගල් පොතු දිගේ බහිද්දි අපි විසින්ම මීට පෙර නම් කරපු friction of the buttocks theory ය . ලොකු අනතුරක් නැතිව පාදවල ඉදිරිපසට පමණක් තුවාල සිදුවිය හැකි සාර්තක ක්‍රමයක් ඒක***
පල්ලෙහාට ආවාම කුඩා දියපාරින් වතුර බෝතලේ පුරවගෙන වතුරත් බීව. කන්න දෙයක් තමා නැත්තෙ. එවිටයි මතක් උනේ පලතුරු කන්න ගෙනා කුඩා ලුනු කුඩු , ගම්මිරිස් මල්ල බෑග් එකේ ඇතිබව .ලුණුකුඩු ටිකක් තොලගාලා වතුර බිව්වාම ගතේ ඇති අප්‍රාණික ගතිය මදක් තුනී උනා..දැන් ඉතින් ප්‍රපාත රැසක් පසුකරමින් දියපාර දිගේ පහලට රූටනවා..ඕගොල්ලො නිකමට හරි මීමුරේට යන පාරෙ ඉඳන් අලුගල් කන්ද පැත්ත මැප් එකේ බැලුවොත් පෙනේවි කොච්චර ප්රපාතයක්ද තියෙන්නෙ කියලා.ආපසු හැරිල බැලුවාම බඩ දඟලන්න ගත්තා කොච්චර උසක ඉඳං ද මේ බහින්නෙ කියල.ඊට අමතරව දියපාර ගමන් කලේ බට ගාල් කටු පඳුරු අස්සෙන් .ඒව ඈත් මෑත් කරන්නත් අධික වෙහෙසක් වැයවුනා.ඒත් කමක් නෑ වතුර තියෙනවා ක්රෑම්ප් එකක් නො එන්න ලුනු කුඩු තියෙනවා.ඒව තමා වත්කම්.මොකද වතුර තියේ නම් බඩගින්නෙ දවස් දෙකතුනක් උනත් නොමැරී ඉන්න පුලුවන්
දිය පාර තැනින් තැන දෙකට බෙදුනා.ඒ හැම අවස්තාවම වැඩියෙන් වතුර තියෙන දියපාර තෝරගෙන මා පහලට බැස්සා..ඇත්තෙන්ම දැන් නම් වනාන්තරය සුර පුරයක්.මේ තරම් ලස්සනක් මා මීට පෙර වනාන්තරයක දැක තිබ්බෙ නැ..ඒත් ඒ ලස්සන ඡායාරූපයකට නගන්න හැකියාවක් තිබ්බෙ නෑ.
***ජීවිතයේ ලස්සනම දසුන් විඳින්න වෙන්නෙ කැමරාවක් නැති තැනකදි*** සහතික ඇත්ත ඒ කියමන .
ආපු කටුක ගමනයි ඉඳිරියට ඇති අභියෝගයි මොහොතකට අමතක කරමින් සැරින් සැරේ ගල්පොතු උඩ වාඩිවෙමින් මා පරිසරය වින්ඳා උපරිමයටම.ඇත්තටම මට බොහෝ අවස්තා වලදි උපරිමයට කෙලවුනු විට නැත්තම් බින්දුවටම වැටුන විට හිත පුදුම විදිහට තැන්පත් ගතියක් එනවා. ඒක් පෙර පිනක්.අනික් අතට ගත්තාම සාමාන්‍ය අවස්තාවලදි වගේ අරමුණු, ඉදිරියට කල යුතු අප්‍රමාණ වැඩ නිසා හිත විසිරෙන්නෙ නෑ. එකම අරමුණයි, එකම නිමිත්තයි තියෙන්නෙ.ඒ පරිස්සමින් පහලට බැසීම.මේකත් එක්තරා භාවනාවක් තමා.එතකොට මනස තැන්පත් වෙනවා ( එහෙම වෙනව ඇති කියල මට හිතෙනවා ) හැමවිටම පහලට බහිද්දි හිත කියන්න ගත්තා කලබලයක් නෑ හිමීට යමු කියලා. ඉතින් මිටර 100කට සැරයක් වගේ වාඩිවී මා පරිසරය වින්ඳා.
දිය පාරත් දැන් පෙරට වඩා පලල්. ලුණුකුඩු සහ ජලය තියරියත් හොඳට වැඩ කලා.බඩගින්නක් දනුනෙම නැති තරම්.එකම ප්‍රශ්නෙ උනේ අසීරු තැන්වලින් පහලට ලිස්සා යාමේදි සමබර තාව නැතුව පාදවල දණහිසෙන් පහල කොටස් ඉඳිරියේ ඇති ගල් කුලු මත හිරවී, ගැටී තැලීම්, සීරීම් වලට ලක් ව තුවාල වීම
එක් තැනකදි විශේෂ සිදුවීමක් උනා දියපාර නැවත වරක් දෙකට බෙදෙන්න කලින් මාගේ වම් පසින් ඉදිරියෙන් මට ගොරවන හඬක් ඇසුනා..මා එය නොතකා ඉදිරියට ගියත් නැවතත් ඒ හඬ වඩා තීව්රව ඇසුනා..ඒ හඬට සමානව හිතේ ඇඳිල තිබ්බෙ එකම හඬයි.ඇසින් නොදුටුවත් මා අඳුනගත්තා ඒ හඬ . ඒ හඬතුල තිබ්බේ ආක්‍රමණශීලී ස්වරයකට වඩා ආත්මාරක්ෂක ස්වරයක්. ” උඹ මේ පැත්තට එන්න එපා ” කියනව වගේ. එයාල එහෙමයි . නිකරුනේ අනවශ්‍ය ගැටුම් ඇතිකරගන්නෙ නෑ. හැබැයි රාත්‍රී කාලේ මේ දේ උනානම් කතාව වෙනස් විදිහට වෙන්න තිබ්බා. වම් පැත්තෙ දියපාර වඩා පැහැදිලිවට තිබ්බත් මා වහාම ඊට වඩා පැහැදිලි අඩු දකුණු පැත්තෙ දිය පාර තෝරගත්තා.මෙහෙම ටික දුරක් යන විට මට ටිකක් ඈතින් ගුහාවක් දක්නට ලැබුණා.ඈතින් ඒක ඇතුලෙන් ගැමියන් බඩුමුට්ටු දමාගෙන යන මල්ලක් වගේ දෙයක් බොඳවී වගේ පෙනුනා. හිත සතුටින් ඉපිල ගියේ යම් හෙයකින් රා මදින්න එන ගැමියන්ගෙ වාඩියක් ලෙස ගුහාව භාවිතාකර ඇත්දෝ කියා සහ ගුහාව තුල මිනිසුන් මේ මොහොතේ සිටිය හැකිය කියන චේතනාවෙන්. ලං කරල බැලුවාම මගේ නිගමනය වැරදියි.මල්ලක් වගේ පෙනිල තියෙන්නෙ ගුහාව ඇතුලෙ දුඹුරු පැහැයට හුරු තවත් ගල් පොත්තක්.හිත භයංකාර කරමින් ගුහාව හා ඒ අවටින් මහා මුත්‍ර ගඳක් වහනය වුනා. කුමක්දැයි කියා හරියටම කියන්න බැරිවුනත් අනාදිමත් කාලයක සිට බළල්ලු ඇතිකරන මට දැනුනේ බළල් මුත්‍ර වලට සමාන ගඳක්.මා ගුහාවට එබී බැලීම වරදක් බව මට තේරුනා.මගේ වාසනාවට ඒ ගඳට වගකිවයුතු කවුරු හෝ සත්වයා ගුහාවේ හිටියේ නෑ. කලින් ඈතින් ගෙරෙව්වෙත් එයාද දන්නෙත් නෑ.
මෙතනින් පස්සෙ දියපාර අලංකාර ඔයක් ලෙස පහලට ගලා ගියා .මට එයින් අස්වැසිල්ලක් ආවා, මා නිවැරදි මාර්ගයකට අවතීර්ණ වෙලා ඇති බවට. ඇතැම් විට මට ගොරවපු හාදයා නිසා නොදැනුවත්ව මා හරි මාර්ගයට වැටී තිබ්බා. මෙහෙම වැඩි දුරක් යන්න ලැබුණේ නෑ. මා හිතන විදිහට ඒ වන විට මා උදේ පටන් ගත්ත තැන ඉඳන් පැය දෙකක් යන්න ඇති. මා ජීවිතේ දැක්ක විශමයජනකම හා වාසනවන්තම දර්ෂනයක් දුටුවා..ඒ තමා මා ඉදිරිපසින් හරහට වැටී තිබූ පැහැදිලි අඩි පාර..මේක තංගප්පුව – අලුගල්ලෙන මං පෙත බව වටාහාගන්න මට ගතවුනේ නිමේශයයි . අහෝ! මා එච්චර අවාසනාවන්ත නෑ. මගේ දැනීමෙ හැටියට මේ අඩිපාරෙ වම්පසට මිටර් පන්සීයක් වත් නෑ අලුගල්ලෙනට .දකුණු පසට ඇති අඩිපාරෙ කි.මි. 8යි තංගප්පුවට.එහෙනම් දෙවන අදියරත් හරි. දැන් ඉතිරිව තියෙන්නෙ දකුණු පැත්තට තියෙන අඩිපාරෙ කිලෝමීටර් 8ක් ගෙවා ගිහින් තංගප්පුවට යන එක. මේ අභියෝගය මෙච්චර පහසුවෙන් විසඳෙයි කියා මට මුලින් සිතුනේ නෑ.මොකද මා හිත හදන් හිටියෙ තව රැයක් උනත් කැලේ ඉන්න.මා මදක් ගිමන් හැරල ලුණුකුඩු ජල සත්කාරය නැවත කරල ගමන් ඇරඹුවා…
ගමනෙ මුල් හරියෙ පොඩි නැග්මක් ඔස්සේ යන්න තිබ්බෙ. මා ඇති තරම් විවේක ගනිමින් ආවා. කි.මි. 4ක් වගේ ආවාහම තුම්මන් හන්දිය. වම් පැත්තට තංගප්පුව . දකුණු පැත්තට නකල්ස් පීක්..හිමින් හිමින් නැවත ගමන් කලා..අතරමගදි මට ඒ පැත්තෙන් නකල්ස් නගින නඩ දෙකකුත් හමුවුනා. මාගේ වතුර ඉවරවෙලා තිබ්බ නිසා ඔවුන්ගෙන් වතුර ඉල්ලන් බීවා. ඔන්න මෙච්චර වෙලා තිබ්බ හිතේ නිදහස ටිකින් ටික මට නැතිවෙන්න ගත්ත. ඇයි ?? කලින් තිබ්බෙ එකම අරමුණක් , උදේ වෙනකම් ඉන්නවා, පහලට බහිනවා වගේ ඒව.එකම බලාපොරොත්තුව වුනේ ජීවත් වෙනවා කියන එක විතරයි .දැන් කලින් නොතිබ්බ ප්‍රෂ්ණ ගොඩයි. බලාපොරොත්තු ගොඩයි පැතුම් ගොඩයි. ඒ නිසා දුක් පීඩා, ප්‍රෂ්ණ ගොඩයි. දැන් සිතෙන්නෙ මොනවද? යාලුවො දෙන්න මගෙන් පිළිතුරක් නැති නිසා කලබල වෙලාද? ගමන වන් ඩේ කරනව කියපු නිසා රෑ ගෙදර නොපැමිනීමෙන් ගෙදර අය කලබල වෙලාද ? යාලුවො දෙන්න පොලීසි වත් ගිහින්ද ? මාව හොයාගෙන හමුදාව , ගම්මු පිරිවරාගත් බැටෑලියන් එකක් එයිද ? අනේ කොහොම හරි මාව හොයන් එන්න කලින් මං පුලුවන් තරම් ඉක්මනට ගමට යන්න ඕනෑ..ගිහින් ඉක්මනටම ගෙදරට කෝල් කරන්න ඕනෑ. වැඩකරන තැනට කෝල් එකක් දෙන්න ඕනේ අද එන්න වෙන්නෙ නෑ කියල . නැත්තම් මට ඇබ්සන්ට් දායි .නෝ පේ වැටෙයි..
ජීවිතේ කිසි බලාපොරොත්තුවක් නැතිව ඉන්නකොට තියෙන සැනසීම, සිහිය , තැන්පත්කම ජීවත් වෙන්න දඟලනකොට නැතිව යනවා. ඒත් මා නිසා අන් අය කලබල කරන්න බෑ. වගකීම් වලින් මිදෙන්නත් බෑ. ඒ නිසා කොර ගගහ, වැටි වැටි පය ඉක්මන් කරමින් මා ගමන් කලා. ක්‍රමයෙන් තංගප්පුව තේ වත්ත උඩට පැමිණි මම තේ වත්ත පල්ලෙහාට බැහැල ගමේ කඩේට ඉතා ඉක්මනින් ආවා…
මගේ පුදුමයට මෙන්න යාලුවො දෙන්නත් ඉන්නවා. ඒ අය ඊයෙ අලුගල් කන්ද නැගල බහිද්දි රෑ වෙලා.කෙසේ හෝ ඒ දෙදෙනා අලුගල්කන්ද අභියෝගය සාර්තකව එක් දිනකින් නිමකලා හැබැයි හිතුවට වඩා කාලෙ ගිහින් . එයාලා නකල්ස් ට්‍රේල් එකට ඇවිත් අන්තිම ටික බැහැල තියෙන්නෙ ටෝච් ගහන්..ඒ අයට කෑම්ප් කරපු පිරිස් හමුවෙලා තියෙනව . මා ගැන අහල නෑ කිව්වාම එයාල හිතල තියෙන්නෙ මං බඹරැල්ලට බැහැල ඇති කියල . රෑ බෝ වුනු නිසා එයාල තංගප්පුව කඩේ මාමට අයිති කාමරයක් අරං ඉඳල. අනික අපේ වැඩිපුර ඇඳුම් ,බඩුමුට්ටු කඩේ තියල ගියේ මේක වන් ඩේ කරපු නිසා.උදේත් මගෙන් ආරංචියක් නැති නිසා මගෙ යාලුවොන්ට කොල් කරල . නිසි තොරතුරක් නැති නිසා කලබල වෙලා.හොඳ වෙලාවට ගෙදරට කෝල් කරල නෑ. හැබැයි මං තව පැය බාගයක් ප්‍රමාද උනා නම් පොලීසි යන්නලු හිටියෙ…
කඩේට ආපු ගමන් මං තේ එකක් ඕඩර් කරා..බනිස් එක්ක.මං ගම මැද්දෙන් එනකොටම ඊයෙ ගමන ගිය බලු යාලුවො 4 දෙනාගෙන් 3 දෙනෙක්ම සෙට් උනා. මාත් එක්ක නොහිටියත් මෙයාලත් මාර කට්ටක් කන්න ඇති..වහාම ඒ අයට කඩේ තිබ්බ තඩි බනිස් ගෙඩි කිහිපයක් අරං බඩ කට පිරෙන්න සංග්‍රහ කලා. ඒත් බලු නඩේ හිටපු චූටි බලු යාලුවා එහෙම නැත්තම් බට්ටි ට මොකද උනේ. යාලුවො දෙන්නනම් කිව්වෙ එයා දෙවන පීක් එකේ කෑම්ප් කරපු සෙට් එකත් එක්ක නතරවුනා කියල..ඒත් මට දුකයි එයාට අනතුරක් වුනාද කියල…
පස්සෙ කඩෙන්ම ගෙදරට කෝල් එකක් අරං කිව්ව ඊයෙ එද්දි රෑ වුන නිසා ගමේ නැවතුනා.කොල් ගන්න සිග්නල් තිබ්බෙ නෑ කියල. එයාලත් ලොකුවට කලබල වෙලා නොතිබ්බෙ මෙහෙම කැලෑවල යනකොට මම සමහර දවස් වල රෑ වුනාම එන්නෙ නැතිව කොහේ හරි බජට් හෝටලයක නතරවෙන බව දන්න නිසා සහ බොහෝ කැලෑබද පෙදෙස් වල සිග්නල නැති බව දන්න නිසා.වැඩකරන තැනටත් කෝල් කරල එදින වැඩට නො එන බව කිව්ව. පස්සෙ යාලුවො නතරවෙලා හිටි තැනින් හොඳට නා කියාගෙන අලුත් ඇඳුම් ඇඳල උණු උණුවෙ බත් කටක් කාල අපි තුන් දෙනාම නිවෙස් බලා ආවා…
ඔන්න ඔහොමයි කැලේ ගිහින් මට වැරදිලා විනාසයක් නොකරගෙන ගෙදර ආවෙ.ඒත් මේ ගමනින් ඉගෙන ගන්න පාඩම් ගොඩයි. ඔයාලත් යමක් ඉගෙනගත්තනම් මට එ ඇති…
විශේෂ ස්තුතිය
නිරෝශන් එදිරිසිංහ සහ කෙශාන් ජයලත් ගමන් සගයන්ට, ඡායාරූප ලබා දුන්නාට
වැඩිදුර තොරතුරු
නකල්ස් පීක් කියන්නෙ ශ්‍රීපාදෙ වගේ දෙස් විදෙස් සංචාරකයො නිතර කරන හයික් එකක්.
මේකෙ පීක් පහක් තිබ්බට හුඟක් අය නගින්නෙ දෙවෙනි පීක් එකට විතරයි. ඒක තමා උසම පීක් එක මීටර් 1800+. නමුත් එතන ඉඳන් 3,4 5 පික් වලට කඳු දිහා බලාගෙන යන්න පුලුවන්
වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර අරං දවටගල මං පෙත කියල යන්නෙත් මේකම තමයි. නීත්‍යානුකූලව අවසර තියෙන්නෙ නම් දෙවෙනි පීක් එකට යන්න විතරයි.
නකල්ස් පීක් යන ප්‍රධාන මාර්ග දෙකයි. එකක් බඹරැල්ලෙන්. අනික තංගප්පුවෙන්. මේ මාර්ග දෙකම නකල්ස් පීක් වල පලමුවෙනි පීක් එකට ටිකක් කලින් එකට එකතු වෙනවා..
බඹරැල්ල ඉඳන් ආවොත් තංගප්පුව ට්‍රේල් එක දකුණෙන් එකතුවෙනව පේනව. තංගප්පුව ඉඳන් ආවොත් බඹරැල්ල ට්‍රේල් එක වමෙන් එකතුවෙනව පේනවා.
බඹරැල්ලෙ ඉඳන් නකල්ස් දෙවෙනි පීක් එකට කි.මි. 9ක් තියෙනව. හැබැයි වාසිය මේකෙ මුල් කි.මි 4 උස වෑන් එකක , බයික් වල හරි ත්‍රී විල් වල හරි ඇවිල්ල ට්‍රේල් හෙඩ් එකට ලඟා උනෑකි. එතකොට පයින් යන දුර කි.මි. 5ක් වගේ..ඕනෙ නම් කෙනෙක්ට උදේ පාන්දරම වාහනවල ඇවිත් එක දවසින් පීක් පහම ගිහින් පැය හතක් අටක් ඇතුලත පහලට බැස්සැහැකි. ඕනෙ නම් ට්‍රේල් හෙඩ් එක ලඟම කන්නා කියල මනුස්සයෙක්ගෙ තැනක් තියෙනව කෑම්ප් කරන්න .( ගූගල් මැප් එකේ තොරතුරු තියෙනවා ) මෙතන වතුර , සනීපාරක්ෂක පහසුකම්, කෑමබීම ඔක්කොම තියෙනවා. කැලේ කෑම්ප් කරල , ගිනිමැල ගහල , ශබ්ද නගල පරිසරයට බාධා කරනවාට වඩා මේ වගේ තැනක් සුදුසුයි. පහසුයි. ලස්සනෙත් අඩුවක් නෑ.
තංගප්පුවෙ ඉඳන් යනව නම් මුලු කි.මි 8ම පයින් යන්න ඕනෙ. ට්‍රේල් එකේ කි.මි 4ක් වගේ ගියාම පාර දෙකට බෙදෙනවා. වමට ගියාම නකල්ස් පීක්ස්. දකුණට කි.මි 4ක් වගේ ගියාම අලුගල් ලෙන ( අලුගල් ලෙන සහ අලුගල් කන්ද කියන්නෙ දෙකක් ). අලුගල්ලෙන ට්‍රේල් එකත් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව අනුමත කල ට්‍රේල් එකක්. ඕනෙ නම් දන්න කෙනෙක් එක්ක අලුගල්ලෙන ඉඳන් මීමුරේ පැත්තට බහින්න පුලුවන් ( මීමුරේට කලින් හමුවෙන කරඹකැටිය, පුස්සෙ ඇල කියන ගම්මාන වලට )
අලුගල් කන්ද කියන්නෙත් මීටර් 1800+ නකල්ස් පීක් වලට ඈතින් තියෙන කන්දක්. නිශ්චිත අඩිපාරක් නෑ. වීව් එකක් නැත්තෙ කන්ද මුදුනෙ කුරු ගස් නිසා. වීව් එකක් ගන්න නම් කුරුගස් උඩට නගින්න ඕනෙ.අලුගල්කන්ද එක දවසින් කරන්න නම් ශාරීරික යෝග්‍යතාව උපරිමයට තියෙන්න ඕනෙ සහ කාලගුණයත් හොඳටම තියෙන්න ඕනෙ..
නකල්ස් නගින්න හොඳම කාල පෙබරවාරි සිට අප්‍රේල් දක්වා සහ සැප්තැම්බර් මාසය
රාත්‍රී නැවතීමට සුදුසු හොටෙල් එකක් , කෑම්ප්සයිට් එකක් හොයාගැනීමට බැරිම උනොත් හැරෙන්න කැලේ කෑම්ප් කරන්න එපා. කොච්චර හොඳට කෑම්ප් කලත් ඉන් පරිසරයට හානියක් වෙනවා.
යම් හෙයකින් කෑම්ප් කරන්න වුනොත් කිසිවිටක සංගීත භාණ්ඩ, මත්පැන්, ඝෝෂාකාරී හැසිරීම් වල නිරත වන්න එපා.පරිසරයේ නිහඬ බව සුරකින්න. විඳින්න
ජල මූලාශ්‍ර අපවිත්‍ර කරන්න එපා. එය අපේම අනාගතය වැනසීමක්
ගිනි දැල්වීම් අවම කරන්න
ගෙනියන සියලු දෑ අරං එන්න.
ඡායාරූප හා මතකයන් හැර ගෙනියන්නෙ නැති කිසිදෙයක් අරං එන්න එපා.
අනාගත පරපුරටත් පරිසරයේ ලස්සන දකින්න ඉඩහරින්න.
ස්තුතියි
ප. ලි.
අතරමග නැවතුණු අලුගල්කන්ද බට්ටිට මොකද උනේ
අසාර්ථක වූ අලුගල්කන්ද අභියෝගය හරියටම ඊට අවුරුද්දකට පස්සෙ සාර්ථකව ජයගත්තෙ කොහොමද
බලාපොරොත්තුවන්න , අලුගල්කන්දේ කතා ( ජයගත් අලුගල්කන්ද අභියෝගය )