කිසි කෙනෙකුට ආයේ යන්න නොලැබෙන ගමනක් ,

0
376

කිසි කෙනෙකුන්ට ආයේ යන්න නොලැබෙන ගමනක් [ යන්නත් නොලැබේවා ]

17 වසරකට පසු මගේ යාපනය ගමන ..කියවලම බලන්න

A/L ඉවර වුනේ 2001 වසරේ තව අවරුදු දෙක තුනක් ඉගෙන ගෙන රස්සාවක් හම්බ වෙනකම් කව්රුත් කරන්නේ තාවකාලික රැකියා තමා මොකද . රස්සාවක් හොයා ගන්නකම් නිකම් ඉන්නත් බෑ නේ, මොනවා හරි කරන්න ඕනි ඒ හින්ද තාවකාලිකව එක එක වැඩ කරන්න ගියා. ඒ අතරේදී තමයි ඒ වැඩත් එක්කම යාපනේ වැඩක් සෙට් වුනේ ඒ 2003/04 වසර වලදී ඉතින් ඒ අතරේදී උතුරේ මහ සටන් ඇවිලෙමින් තිබුන කාලයක්.දකුණේ සිංහල අපිට තිබුණු අමන මතයක් තමයි මේ කාලකන්නි යුද්දේ ඉවර කරන්න නම් මෙහෙම බෑ උතුරේ ඉන්න ඔක්කොම දෙමලු මරන්න ඕනේ උන් කෝකත් එකයි කියන එක ඒ කට ලොකුම හේතුවක් උනේ 30 වසරක පැවතුනු තිරිසන් යුද්ධය නිසා දමිල සමාජය සහ සිංහල සමාජීය දුරස්ථ භාවය මත ඇතිවූ ජාතීන් අතර අවබෝධය, හදුනා ගැනීම සහ තේරුම් ගැනීම නොමැති වීමයි.අපහට කිසි සේත් සාමාන්‍ය දමිල සමාජයක් මුණ ගැසී තිබුනේ නෑ……. හැබැයි ටික දවසකට ඒ ගිනි පුපුරු අළු යට සැගවී ගියේ සටන් විරාම ගිවිසුමක් නිසා ඒ අතරේදී අපිත් ගියා අපේම රටේ කොටසකට නිකම් නෙමේ පාස්පෝට් අරන් …යාපනේ බලන්නත් එක්ක.ඉතින් එහෙදි හමුවුන දමිල මිනිසෙක් යුද්ධය නිසා උතුරේ මිනිසුන් මුහුණ දුන් කටුක යථාර්තයන් බිදක් මට පෙන්වා දෙනු ලබනවා.එත් මම කොහොම පිලිගන්නද ,කොහොම මේ මිනිස්සු විශ්වාශ කරන්නද හැබැයි.අපේම රටේ වෙනම කොටසක ගත කරපු දින කිහිපය මේ මිනිසුන්ගේ දුක්බර ජීවිතයේ යථා ස්වරූපය සහ සාමාන්‍ය දමිල සමාජය යනු කුමක්දැයි අවබෝද කර දුන්නා

මේ කථා ඉතුරු ටික පොටෝ එක්ක කියවමු

එකල අපේ රටේ අවසන් මායිම වූ ඕමන්තේ LTTE මුරපල…මෙතනින් එහාට යන්න තාවකාලික පාස්පෝට් එකක් හදන්න ඕනේ ….ගියපු අය දන්නවා ඇතිනේ

මාන්කුලම් නගරයේ මගී ප්‍රවාහනය රථය

LTTE මහවිරු යැයි කියා ගත් සොහොන්කොත් …..දමිළ ජාතිය විනාශ කරගත් දමිළ ජාතිය .. LTTE එකේ සිටිය සියලුම දෙනා කැමැත්තෙන් සංවිධානය ට බැදුණු අය නොවන බව අප තේරුම් ගත යුතුය


හසලක ගාමිණී කුලරත්න විරුවා බුල් ඩෝසරය පුපුරුවා හැරී නියම ස්ථානය එය අද දක්නට ඇත්තේ ඊ ට වෙනත් ස්ථානයකය .එය අලිමන්කඩ කදවුරට පහලින් ඇති වනබද ස්ථානයක්

වැදුණු වෙඩි පහරවල් නිසා සුළු හානියක් වත් නොවුණු ඩෝසරයේ කුල්ල

වර්තමානයේ එම ස්මාරකය -අන්තර්ජාලනි

පුපුරා හැරිය නාවත්කුලි දුම්රිය පාලම … බිදී වෙන් කල උතුරු දකුණු සහෝදරත්වයේ සබදතාව

නාවත්කුලි කලපු බැම්ම..එදා සහ අද

මා දුටු වැව් පතුලේ විසිරී තිබු කාල තුවක්කු උණ්ඩයක් හෝ එහි කොපුවක්

ලක් මාතාවගේ විරු දරුවන් දහස් ගනනකගේ සුසුම් වා තලයට එක් කල අලිමන්කඩ කදවුරේ යුධ හමුදාව සතු රථයක්

අලිමන්කඩ කලපුවවේ අතුරා ඇති බිම් බෝම්බ

පාවහන් අහිමි දෙපා නොව දෙපා අහිමි පාවහන් ….

අලිමන්කඩ කලපුව එදා සහ අද

යාපන නගරයේ දුෂ්කර ගමනාගනමය ..එදා

බොහෝ සෙයින්ම වෙනස් වී ඇති සහ බොහෝ පහසුකම් සපිරි යාපනය අද … සේයාරුව අන්තර්ජාලයෙන් මෙහි වෙනස මා හොදින්ම දුටුවේ වසර 15/16 පෙර සහ පසුව යාපනය දුටුව නිසාය

නාගදීපයට යන්න වැටී තිබු දුෂ්කර මාවත සහ වත්මන් තත්වය

යාපනය දුම්රිය ස්ථානයේ ඉතිරි වි ගිය ඉහලට එසවුණු එකම සැමපෝ කුලුන වසර ගණනාවක් කියා පෑවේ දුම්රියකට පැමිණීමට තවමත් අවසර නැති බවයි

සිදුරු වී ගිය නොව ….. දේශපාලකයින් සිදුරු කරනු ලැබූ සිංහල දමිල සහෝදරත්වයේ හදවත්

අපේම වරදින් විනාශ වී ගිය අපේම දේවල්…පුංචි කාලේ ඉදන්ම කොච්චි වලට ආදරේ මම මේක දැක්කාම දුක හිතුනා ඉස්සර තිබුන හැටි හිතින් මවා ගත්තා ආයේ කවදා යාපනයට කෝච්චියක් එයිද හිතා ගන්නවත් බෑරි වුනා මෙහි කොන්ක්‍රීට් ඉතිරි වී ඇති කොටසේ මා ඔබ මොබ ඇවිද ගියේ දැඩි බියකුත් සමගින් ඒ ඉවත් නොකළ බිම් බෝම්බ කුමන ස්ථානයක මරණය රැගෙන සීටීද යන බිය සමගින්…මෙහි වේදිකා මාරුවීමට ඇති උමග සම්පුර්ණයෙන් ජලයෙන් වැසී තිබුනා …දුම්රිය ස්ථානයක දැනෙන දැවීතෙල් සුවද වෙනුවට මෙහි පිපී තිබු පින්න ගස් වල තැම්බුම් ගද වියලි සුළගත් සමග හමාගියා …. නමුත් මට හොද හැගීමක් තිබුනා මේ පාර නොවුනත් කවදා හරි හරි සාමය උදාවෙලා.. යාල්දේවියේ නුඹ හනිකට පොල් රුප්පාවෙන් තල් අරණට දිවඑන ඒ දිනය ඉක්මනින්ම එයි කියල …ඒ ත් …ඒ අතරේ … සිව්වන ඊළාම් යුද්දය ඇවිලී ගියා

රටවල් දෙකක එකම තැනක් .

මේ සියල්ල නිහඩව දරා සිටි,දැක හුන් .. ඒ යාපනේ ස්ටේෂන් එකේ අඹ ගස ….පුදුම සතුටක් දැනුනේ එහෙම තිබුන යාපනය දුම්රිය නැවතුම වසර 17 පමණ පසුව මෙහෙම දකිනකොට …

කුරිකඩ්ඩුවාන් ජැටිය ..හොදින් බලන්න පසුබිමේ ඇති වෙරල අයිනේ තල් ගස් දිහා අද ඒවා සියල්ලම මියගොස් ඇති අයුරු

සිංහල දමිල අරගලය නිසා දකුණේ අපට තිබුනේ දමිළයන් ගැන පුදුම තරහක් ..කේන්තියක් ඒ ගැන විස්තර කියන්න ඕනි නෑ නේ එත් එදා වැඩ කරපු තැනදී හමුවුණු මේ උතුරේ මිනිසා යුද්දය ගැන අහනකොට අපහට පැවසුවේ “කොයි ජාතියේත් නරක මිනිස්සුත් ඉන්නවා හොද මිනිස්සුත් ඉන්නවා” කියායි නරක මිනිස්සු නරක වැඩ කරනවා … ඒකට හොද මිනිස්සු මොනවා කරන්නද ….සියලුම ද්‍රවිඩයින් ත්‍රස්ත වාදීන් නොවන බව අප සියලු දෙනාටම මනාව පැහැදිලි කරදුන් අහඹු ලෙසින් මුණ ගැසුණු හොද මිනිසෙක් …..

සිව්වන ඊළාම් යුද්දයෙන් වත් බිදී නොගිය තවමත් පවතින උතුරු දකුණු මගේ මිතුදම ……යාපනය ඔහුගේ නිවසේදී

දහසක් සෙබළුන් දිවි දුන් අලිමන්කඩ කලපුවට ඉහලින් පායන හිරු කියා පානුයේ මිහිතලයට එක්වූ රත්වන් ලේ යලි මතු කිසිදිනකවත් එක් නොවෙමින් කටුක යුද්ධයේ අදුර දුරු කරමින්.. සාමයේ ආලෝකය සදා කල් දල්වා දේවා……යන්නයි

බටහිරයින්ගේ අවි ජාවාරමේ තෝතැන්නක් වූ අපේ රට අපි විසින්ම 30 වසරක් පුරාවටම විනාශ කර ගන්නා ලදී … සිංහල දමිල යුද්ධයේ යථාර්තය එයයි

ඉහත අයදුම් පත් LTTE සංවිධානයෙන් ඕමන්තේ සහ මුහමලේ අතර ඔවුන් විසින් නම් කල ඊලාම් රාජ්‍ය හරහා ගමන් කිරීම සදහා එවකට නිකුත් කල මා විසින් මිලදී ගත් අවසර පත්‍ර හෙවත් ඔවුන්ගේ තාවකාලික Passport වන අතර ඕමන්තෙන් ඇතුළු වී මුහමලෙන් යාපනය බලා පිටවීමේදී නැවත ඔවුන් වෙත පුරවා බාර දිය යුතුය.එයින් මා ලග ඉතිරි ව අහඹු ලෙස හමුවූ කිහිපයක් [ කුරිරු යුද්ධයහි තවත් එක් මතක සටහනක් පමණක් බව සටහන් කරමි ]
…………………..අද අපේ රටේ තිස් වසරක් පුරා තිබු යුද්ධය නිමා වෙලා වසර 12 ක් ඒ යුද්ධය යැයි හදුන්වනු ලැබූ මිලේච්ඡ ක්‍රියාදාමය අවසන් වූ එක ගැන වරක් දෙවරක් නොව ,දහස් වරක් වුවත් සැනසුම් සුසුමක් හෙළිය හැකියි…..මේ මොහෙතේවත් අපි තේරුම් ගත යුතු එකම කරුණ අපේ රටේ තිබුනේ යුද්ධයක්ද යන්නයි එය අපි මනාව තේරුම් ගත යුතුයි. ..එහෙනම් මොකද්ද තිබුනේ .. . බටහිර අවි ජාවාරම් කාර පරගැති රටවල් විසින් මෙහෙයවපු අවි ජාවාරමක් තමයි ජාති බේදයකින් තොරව ඉතා සුළු බුද්ධිමත් පිරිසක් දකින විදිහට ඒ තිබුනේ. ඒකට අහින්සක සිංහල ,දමිල සහ මුස්ලිම් මිනිසුන් මැදිවෙලා කිව නොහැකි තරම් කටුක දුක් සමුදායකින් ඔවුන්ව වෙලා ගත් ඒ ජාවාරම් කරුවන් විසින්ම එම ජාතිකයින්ගෙන්ම ඔවුන්ට අවනත පිරිසක් ගොඩනංවාගෙන ඔවුන්ගේ ව්‍යාපාරය මිනිස් ලේ මතින් තිස් වසරක් පුරාවටම ජයටම කරගෙන ගියබව අදටත් බොහෝ සිංහල දමිල සහ මුස්ලිම් මිනිසුන් අවබෝධ කරගෙන නැහැ. ඒ නිසා තමයි ඔවුන්ගේ වහල් භාවයට පත්වුනු ඔවුන් අතර සිටින ඉතා සුළු පිරිසක් නැවතත් නිවී ගිය මහ ගිනිකන්දේ ගිනි පුපුරුවලට පිබින්න උත්සාහ දරන්නේ .. …නැවතත් අවසානයේ කිවයුතු වන්නේ අපේ රටේ ක්‍රියාත්මක වුයේ බටහිර පරගැති රටවල්වල අවි ජාවාරමක්ම බව සිංහල ,දමිල සහ මුස්ලිම් අපි සියලුම දෙනා තේරුම් නොගන්නා තාක් ඒ බටහිර මිලේච්ඡ ලේ පිපාසිතයින් ඔවුන් ගේ පැවැත්ම පිණිස ඔවුන් මෙහි යලිත් ගිනි ඇවිලවීමට උත්සාහ දරනවා නිසැකයි…. යුද්ධයක්,සටනක් ඉහලට එසවුණු අවි ගැටුමක් තුල ජයග්‍රහණයක් නොමැත ඇත්තේ පරාජයක්ම පමනී
සම්පුර්න ඇල්බම් එකට \For Full Album – Click Here

අකුරු ගැලපුම – ලක්ශිත අසංග

ඔබේ රසවත් සංචාරක මතක අපිට කියන්න triplk001@gmail.com වෙත ඔබේ සංචාරක මතකයන් බෙදාගන්න