මලිත් පල්ලියගේ විසින් ජීවිතය සොයා දවස් නමයක මතක
University අන්තිම අවුරුද්ද . නිවාඩු දීපු නිසා මගහැරුණු දේවල් එක්ක දැන් අම්බානට වැඩ. එහෙම ඉද්දි සති දෙකක නිවාඩුවක් ලැබෙනවා. ඉතින් අපි කොහේ හරි යන්න හිතුවා. මුලින් සූදානම් උනේ Peacock Hills යන්න. ඒ නිසා ඉරිදා උදේ තුනට වගෙ කොළඹ කොටුවෙන් පේරාදෙණියට යන්න බස් එකට ගොඩවුනා. ඒත් පේරාදෙණියේ දි මුණගැහුණු යාලුවෙක් කියපු විස්තර නිසා අපිට හිතුනා Peacock Hills Camping කරන එකේ තේරුමක් නෑ කියලා. ඒ නිසා අපි තීරණය කලා කබරගල යන්න.
අපි නාවලපිටියට ගිහින් දොලොස්බාගෙට යන්න බස් එකට ගොඩවුනා . කබරගල කියන්නෙ දොලොස්බාගෙ කඳු පන්තියේ Highest Peak එක. එහෙම කියද්දි බය හිතුනට එච්චර අමාරු ගමනක් නෙමෙයි. කන්ද උඩ වතුර නම් බින්දුවක් වත් නෑ. හවස දෙක වගේ වෙද්දි අපි කන්ද මුදුනට ආවා. උදේට තමයි තවමත් අපි ජීවත් වෙනවද නැද්ද කියලා කොනිත්තගෙන බලන්න හිතෙන්නෙ. අපි ඉන්නෙ වලාකුළු වලට උඩින්. දැකපු ලස්සනම ඉර උදාවක්.
ගමන Plan කරගෙන ආපු එකක් නෙමෙයි. අද කොහෙද යන්නෙ කියලා හිතන්නෙ එවෙලෙ. ඒකත් මරු. පානම Beach Camping කරන්න හිතුනා. රටේ එහා පැත්තට යන්න ඕනෙ. කබරගලින් බැහැලා අපි නුවර ආවා හවස 4 වගේ වෙද්දි. මාලිගාවට ගිහින් වැඳලා නුවර වැව රවුමෙත් ඇවිදලා රෑට කාලම අම්පාරට යන්න බස් එකට ගොඩ උනා. රෑ පුරාම බස් එකේ යන අපි පස්සෙන්දා උදේම යන්නෙ යාලුවෙක්ගෙ ගෙදරට. අවශ්‍ය කටයුතු කාරණා සකස් කරගෙන ආයෙත් ගමන පටන් ගන්නවා. අම්පාරෙන් අක්කරෛපත්තුවට යන අපි එහෙන් පොතුවිල් වලට යනවා. අපි හවස දෙක වගේ වෙද්දි පානමට ආවා.
ඒ සැර අවුව නොවෙන්න මේ ලංකාවද කියලා හිතාගන්න බැරි වෙනවා. එහෙමත් වෙරල තීරයක්. අපි නෑවෙ නෑ. රැල්ල ටිකක් සැරයි. ආතල් ගන්නවා කියලා හුස්ම අතාරින්න බෑනෙ. තුන් වෙනි රාත්‍රිය ලස්සනම මතක ගොඩක් එක්ක පානම වෙරල තීරයේ අපි ගතකරනවා. හතරවෙනි දවසෙ අනිත් අය ගෙදර යනවා.
මම පොලොන්නරුවට යන්න තීරණය කල කාලයක් තිස්සෙ ආසාවෙන් ඉඳපු Photo එකක් ගන්න. පොලොන්නරුවේ ඉන්න තව යාලුවෙක් මට උදව් කරනවා. මම කදුරුවෙල ට ගිහින් මැදිරිගිරිය ට යනවා. රාත්‍රී 10ට විතර පුරාවිද්‍යා ආරක්ෂක මහත්වරුන්ගේ අවසරය සහිතව මම අවශ්‍ය Photo එක ගන්නවා.
පස්වෙනි දවසෙ තවත් වැව් දෙකතුනක් වටේ රවුමක් දාල තවත් Photos ටිකක් ගත්තා. නිවාඩුව තව ඉවර නෑ. ලොකු ආසාවක් තිබ්බා Jaffna coastal area photos ටිකක් ගන්න. මම රෑ 9ට මින්නේරියෙන් යාපනේ බස් එකකට ගොඩවුනා . උදේ 2 වගේ වෙද්දි මම යාපනේට ආවා. Facultye යාලුවෙක් මාව එක්කන් යන්න ආවා. මම යාලුවා එක්ක බයික් එකෙන් Photos ගන්න ගොඩක් තැන් වලට ගියා. කොලොම්බුත්තුරෙයි , යාපනේ කොටුව, කන්දසාමි කෝවිල්, සිරුපිඩ්ඩි, St. Marry Cathedral….. මටයි කැමරාවටයි සතුටුයි ඉතින්. හවස් වෙද්දි ගියා පුන්ගුඩුතිව් . යාපනෙ ලස්සනද නැද්ද කියලා Photos වලින් බලාගන්න පුලුවන්. Star Map එකක් නැති නිසා Galaxy ය හරියට Locate කරගන්න බැරි උනා. එහෙම ඉවර වෙන්නෙ හයවෙනි දවස.
හත්වෙනි දවසෙ උදේ මම තවත් යාලුවෙක්ගෙ ගෙදර යනවා. යාපනෙ කෑම ගැනත් නොකියා බෑ. එහේ තෝසෙ කියන්නෙ ඇත්තම තෝසෙ. උලුඳු වඩේ වල උඳු පිටි තියෙන්නෙ. යාපනෙ තියෙන්නෙ මෙහේ තුනපහම නෙමෙයි. වෙනම රහක් ඉතින්. හත්වෙනි දවසෙ මම තනියම බයික් එකක යාපනෙ රවුමක් ගියා.
අරාලි, පොන්නාලෙයි , දඹකොල පටුන , කිරීමලෙයි, හරහා පේදුරු තුඩුවටම බයික් එකෙන් ගියා. ආපහු එද්දි දැක්කා සම්පූර්ණයෙන්ම ලී වලින් හදපු පරණ බෝට්ටුවක් කාක්කතීව් වලදි. කැමරාවත් අඬනවා. මටත් ඇඬෙනවා. බෝට්ටුව අයිති මාමා මූදු ගිහින් ඇවිත් බෝට්ටුව සුද්ද කරලා ගෙදර යන්න ලේස්තිය. එහෙන් ඉරත් බහිනවා මූහුදට. ඔක්කොම ගානට. දන්න එකම දෙමල ටික ඕක්කොම දාලා ඇහුවා “මාමා සිංහල තෙරිය මා?” කියලා. ඉල්ලෛ අයියා ඉල්ලෛ කිව්වා. මට photo එකක් ගන්න ඕනෙ උනොත් ලේ දීලා හරි ගන්නවා. ගත්තා Google Translator .
බෝට්ටුවේ Photo එකක් ගන්න ඕනෙ කියලා Tamil වලට හරවලා පෙන්නුවා. Hard Luck . මාමට කියවන්න බෑ. මම ගොලුවෙක් උනා. ගත්තා රුපියල් 200ක් අතට. දීලා අතින් කටින් එහෙක් මෙහෙක් කරලා පෙන්නුවා බෝට්ටුව ඕනෙ පොටෝ එකක් ගහන්න තල්ලු කරගෙන යන්න ඕනෙ ටිකක් වතුර මැදට කියලා. වැඩේ ගොඩ. රෑට කෑවා සෙල්වා එකෙන් කොත්තුවක්. රියෝ එකෙන් අයිස්ක්‍රීම් .
අටවෙනි දවසෙ දවල් 1.45 කෝච්චියේ ආවා අනුරාධපුරට . හවස් වෙද්දි වැවට එහායින් මහා සෑයෙ චායාරූපයක් ගන්න පුදුම ආසාවක් තිබ්බෙ. ඒකත් හරි. එහේ යාලුවෙක් ආවා මාව එක්කන් යන්න. රට වටේ යාලුවො ඉන්නවා කියන්නෙ ඉතිං වෙනම ලැබීමක්.
පස්සෙන්දා ඒ කියන්නෙ නමවෙනි දවසෙ කෝච්චියෙන් කොළඹ ආවා. රුපියල් 7000ක් විතර වියදම් ගමනට. සීමාකාරී සාධකය උනේ Cmera Chip එක. තව Photos 2යි ගන්න පුලුවන්. ආයේ කාලෙකට මෙහෙම ගමනක් යන්න වෙන් නෑ කියලා මතක් වෙද්දි හරි දුකයි. බලමු ඉතින්. සරලවම Just Live In The Moment. මේ හැම Photo එකකම පාට ඇතුලේ දියකරලා තියෙන්නෙ මගේ Stress එක. වෛද්‍ය ශිෂ්‍යයෙක් විදියට කරන්න තියෙන වැඩත් එක්ක ජීවිතේ විඳින්න තියෙන්නෙ එහෙමත් කලාතුරකින් වෙලාවක් තමයි. ඒ නිසා මේ දේවල් මට ආත්මීයයි. මේ තියෙන්නෙ මම ජීවිතෙ විඳපු වෙලාවල්. අවශ්‍ය ඕනෑම කෙනෙක්ට උපුටා ගන්න පුලුවන්. ඒත් ඉතිං Watermark එක මකන්නවත් , නැවත සංස්කරණය කරන්නවත් එපා. අන්තිමට කියන්න තියෙන්නෙ මේ අපේ රට. අපි අපේ රට Photos වලටත් වැඩිය ලස්සනට තියාගමු.