අලගල්ල කන්ද
බතට කන්න බැරි බතලේ ගල කන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
උණට කන්න බැරි හුන්නස් ගිරි කන්ද
මේ කඳු තුනට නායක සමනල කන්ද
මේ කවිපද වලින් කියවෙන්නේ ලංකාවේ ප්‍රසිද්ධම කදු පන්තින් 4ක් ගැන…මේ කදු පන්තින් මිනිසුන්ගේ ජීවිත හා බැදි පවතිනවා….මේ කදු පන්ති 4 අතරින් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අලට ගන්න බැරි අලගල්ලේ කන්ද
අලගල්ලේ කන්ද
උඩරට දුම්රිය මාර්ගයේ රබුක්කන පසු කල විට ඉහලින් පටන් ගන්නා ඒ සුන්දර දුම්රිය මගේ කඩිගමුව ගංගොඩ පසුකොට ඉහලකොට්ටේ වෙත ලගා වන විට වම්පසින් අහස කුසට ඉහලට වන්නට උස්වූ යෝධයෙක් වැනි කන්දක් මතුවි පෙනෙනවා,,මහා ගල්කුලක් වූ මේ මහා යෝධ කන්ද විටෙක මීදුමෙන් වැසි පවතිනවා…විටෙක ඉතා හොදින් දැකගන්නත් පුලුවන්….මධ්‍යම කඳුකරයට හා සබරගමු කඳුවලට යාබදවා පිහිටි අලගල්ල කන්ද, මීටර් 1140 ක උසින් යුක්ත ය. ශතවර්ෂ ගණනාවක් කන්ද උඩරට රාජධානිය ආරක්ෂා කරන මහා යෝධ මුරකරුවකු ලෙස නැගි සිටිනා අලගල්ල කන්ද අදටත් ඉතා ප්‍රතාපවත් බවකින් යුක්ත වෙනවා…..
අලගල්ල ට යන ආකාරය
අලගල්ල කන්ද නැරැඹීමට කැමැති ඔබට, ඒ සඳහා මාර්ග දෙකකින් පැමිණිය පුලුවන් .එක් මඟක් ලෙස , මහනුවර පොත්තපිටිය මාර්ගයේ පැමිණ, අලගල්ල තේ කර්මාන්ත ශාලාව අසලින් ගමන් ආරම්භ කළ හැකි ය. එසේ නොමැති නම්, කොළඹ – නුවර දුම්රිය මාර්ගයේ පැමිණ, ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයෙන් බැස, අලගල්ල තේ කර්මාන්ත ශාලාව අසලට වැටෙන මාර්ගයේ පැමිණ ගමන් කිරීමට පුළුවන. එසේත් නොමැති නම්, ගංගොඩ දුම්රියපළෙන් බැස, අලගල්ලට යා හැකි ය.
අලගල්ල කන්ද හා බැදුනු කථා
වර්ෂයේ වැඩි කාලයක් කැළෑවෙන් වැසී පවතින අලගල්ල කන්ද ගමන් මාර්ගය, පෙබරවාරි මාසයේදී අවට ගම් වැසියන් හෙළි පෙහෙළි කරයි. එයට හේතුව , පෙබරවාරි 04 වැනි දින, එනම් නිදහස් උත්සව දින දී, වාර්ෂිකව අලගල්ල තරණය කිරීම ය. නිදහස ලැබු දිනයේ පටන් අඛණ්ඩව මේ දක්වාම ශ්‍රී ලංකාවේ පැවත්වෙන, රාජ්‍ය අනුග්‍රහය නොලබන නිදහස් උත්සවය පැවැත්වෙන එක ම ස්ථානය මෙය වේ.1948 ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් වී නිදහස ලබන මොහොතේ, කොළඹදී නිදහස් උත්සවය පවත්වන බවත්, එහිදී නිදහස ලබන බවත්, ලංකාව පුරාම ප්‍රචාරය වූ විට, තුම්පනේ සිටි මිනිසුන් කොළඹ යා නොහැකි නිසා, එම නිදහස් උත්සවය බැලීම සඳහා අලගල්ල කඳු මුදුනට නැග අවට බැලු බව සදහන් වේ.
එමෙන්ම විවිධ බටහිර ජාතිකයන්, උඩරටට එරෙහිව ආක්‍රමණ මෙහෙය වූ අවස්ථාවලදී, එල්ල කළ කැරලි රැසක් අසාර්ථක විය. එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ, උඩරට ජනතාව මේ කඳු ශිකරයේ සැඟ වී, එම ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර දියත් කළ නිසාය… උඩරට රාජධානියේ ආරක්ෂාව සඳහා ඉදි කළ, බලන බල කොටුව ද, අලගල්ල හා කඩුගන්නාව අතර පිහිටි නිසා, එහිදී ද සතුරාට එරෙහිව ආක්‍රමණ එල්ල කිරීමට අලගල්ල කන්ද බෙහෙවින් ඉවහල් වී තිබෙනවා
අලගල්ල කන්ද තරණය කිරිම හා අවට දකිනට හැකි දර්ශනය දේ
පැය තුනක පමණ වෙහෙසකර ගමනක් වන
අලගල්ල කන්දෙහි උස ම ස්ථානය වන ශෛලම ශිඛරය හෙවත් සිංහ කට තරණය කිරීම, පළපුරුදු අයෙකුට වුව ද තරමක අභියෝගයක් වෙනවා. ආනතව පවතින, තරමක සුමට ගල් තලාවක් ඔස්සේ අඩි 30 ක් පමණ උසක් නැගිමෙන් පසු, උරඟයකු මෙන් බඩගා උඩට නැගිය යුතු ය. පහළට නොපෙනුන ද, කඳු මුදුනේ සිය ගණනකට රැස් වීමට ඉඩ තියෙනවා…ප්‍රධාන ගල් තලාව අඩි දෙසීයකට පමණ දුරකට විහිදී යන අතර, එහි වන වදුල කිලෝ මීටර්යක් පමණ වැසී ගොස් තියෙනවා…
අලගල්ල කඳු වටා කඳු පන්ති කීපයක් දක්නට ලැබේ. එනම්, බතලේගල, දෙවනගල, අම්බුළුවාව සහ නකල්ස් කඳු පන්තිය ය. පුජා ගල පිහිටා ඇත්තේ අලගල්ල කඳු මුදුනේ ඉහළ කොටසේ ය. එහි අලුත ඉදි කළ ස්ථූපයක් ,සිරිපතුලක් සහ කුඩා පොකුණක් දක්නට ලැබේ. ස්ථූපය ඉදි කිරීම සඳහා ගල්, වැලි රැගෙන ගියේ, අලගල්ල තරණය කිරීමට යන මිනිසුන් බව සඳහන් වේ.ඒ වගේම අංශක 360ක දර්ශන තලයක් ඇති අලගල්ල කන්දේ සිට ඉරු උදාවත් අපුරු ලෙස දැකබලාගන්නත් පුලුවන් ….
කෙසේ වෙතත්, කදු මුදුනට ගිය පසු, අවට සොබා සෞන්දර්ය මනාව දැක ගත හැකි ය. පොත්තපිටිය, හතරලියද්ද, මාවනැල්ල, රඹුක්කන,ඉහළ කෝට්ටේ මනා ලෙස කඳු මුදුනට දර්ශනය වේ.අලගල්ල කන්ද තරණය කිරීමට කැමැති ඔබට, සොබා සෞන්දර්ය නරඹමින්, එහි අසිරිය විඳ ගත හැකි ය. එහෙත්, පරිසරයේ අසිරිය විඳින ගමන් ම, ඉදිරි පරපුරට එය ආරක්ෂා කර දීමට කටයුතු කිරීම, ඔබ සතු වගකීමකි.
වර්තමානයේ තත්ත්වය
මෙ වසර මුල ඇති වූ ගින්නක් හේතුවෙන් අලගල්ල ස්වාභාවික රක්ශිතය බොහො විනාශ වූ නිසා දැන් නම් එහි සංචාරය කිරිමට බොහෝ දුරට ඉඩ අහිමි වී තිබෙනවා……නමුත් නුදුරු දිනෙදිම ඉඩ අවස්ථාව උදා වේ යැයි අපෙක්ෂවෙන් පසුවනවා
සටහන – තිවංක රත්නසේකර