spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

අනුහස් ඇති ත්‍රිකුණාමලයේ කෝනේශ්වරම් කෝවිල

කෝනේශ්වරම් කෝවිල

නැගෙනහිර කියන්නෙ දැනට එය ලැබුය යුතු සංචාරක ආකර්ෂණයෙන් සීයෙන් පන්ගුවක්වත් ලැබේන්නේ නැති එහෙත් අතිශය මන්ස්කාන්ත ස්වභාව්ක , භූ ගෝලීය , අඉතිහාසික හා සංස්කෘතිකමය වැදගත්කම් වලින් සපිරුන ප්‍රදේශයක් . මෙයින් ත්‍රිකුණාමලය කියන්නෙ සංචාරක පාරාදීසයක් .

ඉතිහාස කතාව

ග්‍රීක ලේඛක ස්ට්‍රාබෝ, එරටොස්තීනස් සහ ඔනේසික්‍රිටස්ගේ සටහන් උපුටා දක්වමින් ස්වාමි පර්වතය මත ඉදිකරන ලද පූජනීය ස්ථානයක් විස්තර කරයි. මෙම කොවිල අඩි 400 ක් කෙලින්ම මුහුදට වැටෙන කඳු බෑවුමක් අසල ඇති බව ඔහු ලියා ඇත. සමකාලීන ඉතිහාසඥයින් වන එස්. පත්මනාදන් සහ පෝල් ඊ. පීරිස් විශ්වාස කරන්නේ ක්‍රි.ව. 300 සිට කොනේෂ්වරම් කෝවිලට ලිඛිත ඉතිහාසයක් ඇති බවයි. ක්‍රි.ව. 300 දී ලියන ලද පැවණි සංස්කෘත ගීතාවලියක් වන වායූ පුරාණයේ තිරුකෝනේශ්වර කෝවිල ගැන සඳහන් වන බවට විශ්වාස කෙරෙනවා..

“ඊෂ්වරම්” යන්න අගට එක්ව සෑදුනු නම් ඇති, අපේ රටේ ඊශ්වර හෙවත් ශිව දෙවියන් උදෙසා වෙන්වූ සිද්ධස්ථාන 5 ක් ගැන හින්දු ආගමික ඉතිහාසයේ සඳහන් වෙනවා (පංච ඊෂ්වරම්). රාවණා රජතුමා තැනවූ ත්‍රිකුණාමලයේ “කෝනේෂ්වරම්”, රාවණා රජතුමාගේ මාමණ්ඩිය වන “මායා” විසින් තැනවූ මන්නාරමේ තැනවූ “තිරුකේතීස්වරම්”, හලාවත “මුන්නේස්වරම්” කෝවිල හා යාපනයේ “නගුලේස්වරම්” හා මාතර “තොන්ඩීෂ්වරම්” තමයි ඒ කෝවිල්. මාතොට හෙවත් මාතර “තොන්ඩීෂ්වරම්” කෝවිල අද එතැන නෑ (එතැන දැන් තියෙන්නෙ ඔබ කවුරුත් දන්නා “දෙවිනුවර උපුල්වන් දේවාලය”යි.)
පංච ඊෂ්වරම් පුදබිම්

තිරුකෝනේෂ්වරම් හෝ කෝනේෂ්වරම් යන නම් වලින් හැඳින්වෙන, ඔබට තොරතුරු කියන්න හදන මේ කෝවිල ශිව දෙවියන් උදෙසා ලොව පුරා ඉදිවෙලා තියෙන පුදබිම් අතරින් වඩාත්ම බලවත් කෝවිල බව හින්දු බැතිමතුන් විශ්වාස කරනවා. ශිව දෙවිඳුන්, පාර්වතී දේවතාවිය වැඩ සිටි, කුඩා කාලයේ ගණදෙවියෝ හා මුරුගන් (කතරගම දෙවියෝ) ඇතුළු දේව කුමාරවරු මෙහි කෙළි සෙල්ලම් කළ පින් බිමක් යැයි ඔවුන් තරයේ අදහනවා. කෝනේශ්වරම් කෝවිල තියෙන කඳුගැටය (ස්වාමි කන්ද) ගැන කියැවෙන ජනප්‍රවාදයකට අනුව අතීතයේ දෙවියන් අතර හටගත්තු ගැටුමක ප්‍රතිඵලයක් විදිහට දෙවියන් වැඩ විසූ රන් කන්දෙන් කොටසක් කැඩිලා වැටුනු කෑල්ල තමයි මේ කඳුගැටය.
රාවණා රජ්ජුරුවෝ එකල ඍෂිවරු, මුනිවරු වගේ භාවනායෝගීන් ජීවත්වුණු “ගෝකණ්ණාශ‍්‍රමය” භූමියේදී (වර්තමාන කෝනේෂ්වරම් කෝවිල තියෙන තැන) ශිව දෙවියන් උදෙසා දැඩි ව‍්‍රතයක් සමාදන් වූ බව ජනවහරේ සඳහන් වෙනවා. රාවණා රජ්ජුරුවෝ ශිව දෙවියන්ටයි උන්වහන්සේගේ බිරිඳ වූ පාර්වතී දේවියටයි වන්දනාමාන කළේ, ගරු සරු දැක්වූයේ තමන්ගේම අම්මයි තාත්තයි විදියට සලකලා. රාවණා රජ්ජුරුවෝ තමන්ගේ පිතෘවරයා විදියට සලකන ශිව දෙවියන්ගෙන් “අමරණීයත්වයට පත් වීමට” වරමක් ඉල්ලුවා. “ඔබ කිසිවකුත් අතින් නොමැරිය යුතු කෙනෙක්” යැයි එදා රාවණ රජ්ජුරුවන්ට ශිව දෙවිඳුන් වරම් දුන්නේ මේ කෝනේෂ්වරම් පිංබිමේදී. මහා රාවණ රජ්ජුරුවෝ මේ භූමියේදී යෝග ධර්ම වඩද්දී විශ්වයෙන් ලැබුණු ශබ්ද තරංගයක් අනුව, ශිව දෙවියන්හට නමස්කාර කරන මහා බලවත් “ශිව තාණ්ඩව ස්ත්‍රෝත‍්‍රය” නිර්මාණය කරන්නටත් යෙදුනා.
ශිව-පාර්වතී දේව ශක්තියත්, රාවණා රජුගේ ආධ්‍යාත්මික ශක්තියත් මේ බිමේ ගැබ්ව පවතින නිසා මේ පිං බිම මහා අනුහස් ඇති බිමක්.

කොටුවට ඇතුළු වෙන්න පුළුවන් සැහැල්ලු වාහන වලට විතරක් නිසා අනිත් වාහන තුන්මං හන්දිය ළඟ කොහෙ හරි නවත්තන්න වෙනවා. කොහොම හරි වාහනේක කොටුවට ඇතුළු නොවී පයින් යන අයගේ තනි නොතනියට මුව රංචු ගොඩකුත් ඉන්න බව අමතක කරන්න එපා. පාරේ වම් පැත්තෙන් පරණ කාලතුවක්කු ටිකකුත් ඕලන්ද බොක්ක පැත්තට අටෝලා තියෙනවා.
කෝවිල ළඟටම වාහනෙන් යන්න පුළුවන් වුණත් පරිසරයේත් ගමනේත් අසිරිය රසවිඳින්නට පයින් ගමන හොඳයි කියලා තමයි මං කියන්නේ.. කන්ද පාමුල මාර ගස් හෙවනේ තියෙන යුද හමුදා සුභසාධක කැන්ටිමෙන් මහන්සි නම් තේ එකක් බොන්නත් පුළුවන්..
කෝවිල පේනතෙක් මානයේ තියෙන කඩ පේළියෙන් අවශ්‍ය පූජා භාණ්ඩ මිලට ගන්න පුළුවන්. (දේව රූප, රසකැවිලි, මාල වළලු, සෙල්ලම්බඩු, සමරු සිහිවටන වගේ එක එක දහසකුත් දේවල් තියෙන පොඩි පොඩි කඩ කෝටියයි)
ඔබ මේ කෝවිලට යන්නේ ශිව දෙවියන් වැඳපුදාගන්න.. ඔබ දැන් මේ ඇතුල්වෙන්න හදන පිං බිමේ එදා ශිව දෙවිඳුන් පාර්වතී දේවියත් ගණපති හා මුරුගන් දරු දෙදෙනාත් සමග සෙනෙහසින් වැඩ සිටිබව, කෝවිලට ඇතුළු වෙන්න කලින්ම ඔබට සිහිපත් කරවාලීමෙහි සමත් පිළිරූ පෙළක් ඔබේ දකුණු පැත්තෙන් හමුවෙනවා.
හින්දු බැතිමතුන්ගේ පූජනීය සිද්ධස්ථානයක් වන තිරුකෝනේෂ්වරම් කෝවිල සංවර ඇඳුමකින් සැරසී වතාවත් වලට ගරි කරමින් ඇතුලු වෙන්න ඕනෙ . ඇතුළුවෙද්දි අත්, පා සෝදන එක හින්දු බැතිමතුන්ගෙ චාරිත්‍රයක්. කෝවිලට ඇතුළු වෙන්න ඕනෑ ඒ විදිහට. අත් පා සෝදාගැනීමට වෙනම තැනක් කෝවිලට ගොඩවෙන පඩිපෙළ පාමුළ තියෙනවා.
පඩිපෙළ පාමුළින් පා සෝදා ගන්න
ඔබේ දෑස් මානයේ විරාජමාන වන අහස්කුස සිඹින ශිව දෙවිඳුන්ගේ මහා පිළිරුව පසු කොට කෝවිලට ඇතුළු වෙන්න.

කෝනේෂ්වරම් කෝවිලට ඇතුළුවන ප්‍රධාන ‍දොරේ උඩින්ම තියෙනවා එක්තරා විශේෂිත මූර්තියක්. ශිව දෙවියන්, පාර්වතී දේවිය සහ අපේ රාවණා රජ්ජුරුවෝ එතැන.. කෝනේශ්වරම් කෝවිලට ඇතුළුවන ප්‍රධාන ‍දොරේ උඩින්ම තියෙනවා එක්තරා විශේෂිත මූර්තියක්. ශිව දෙවියන්, පාර්වතී දේවිය සහ රාවණා රජ්තුමාගේ අතීත පසුබිම් කතාව

අතීත පසුබිම් කතාව

රජ මාලිගාවේ ඉන්න (අද කැලණියේ) රාවණා රජ්ජුරුවන්ගෙ මෑණියන්ට පහසුවෙන් ශිව වන්දනාවෙ යෙදෙන්න ශිව ලිංගයක් ගෙනත් දෙන්න ඕනෑ කියලා එතුමා ගියා ශිව දෙවියන් වැඩ විසූ කෛලාශකූට පර්වතයට. එතනදී රාවණා රජතුමාට දැකගන්න ලැබුණා බ්‍රාහ්මණයෙක්. බ්‍රාහ්මණයෙක් විදියට වෙස් වළාගෙන හිටියේ මහා ශිව දේවතාවුන් වහන්සෙ. උන්වහන්සෙ එතැනදි රාවණා රජ්ජුරුවන්ට කිව්වා කෝනේශ්වරම් කන්දේ ශිව ලිංගයක් තියෙනවා කියලා. ඊටපස්සෙ රාවණා රජ්ජුරුවෝ ගියා අද අද කෝනේශ්වරම් කෝවිල තියෙන තැනට. එතැනදී රාවණයන්ට ශිව දෙවියන් හමුවුණා. රාවණා රජ්ජුරුවෝ ශිව දෙවියන්ට කිව්වා තමන්ට ශිව ලිංගයක් ලබාදෙන්න කියලා. ශිව දෙවියන්ගෙන් ඒකට කිසිම ප්‍රතිචාරයක් නොලැබුණු නිසා රාවණයන් කල්පනා කළා ශිව ලිංගය තියෙන කන්ද කපාගෙන රජ මාලිගාවට අරං යන්න. මහා බලසම්පන්න රාවණා රජ්ජුරුවෝ ඒ වෙනුවෙන් තමන්ගෙ කඩුවෙන් ශිව ලිංගය තිබ්බ තැන ගල කැපුවා. ඒ තමයි අද “රාවණ කැපුම” කියලා හඳුන්වන්නේ.

රාවණ කැපුම


රාවණ රජ්ජුරුවෝ මේ කරපු වැඩේට ශිව දෙවියෝ කෝප වුණා. ඊට පස්සෙ ශිව දෙවියෝ එකපාරටම උන්වහන්සේගේ කකුල උස්සලා රාවණගේ හිස මත මෘදු ලෙස තැබුවා. පාර්වතී දේවියත් තමන්ගෙ කකුල උස්සලා රාවණගෙ හිස මත මෘදු ලෙස තැබුවා. ශිව – පාර්වතී යුවළගේ මේ වැඩේ හින්දා රාවණා රජ්ජුරුවන්ට එතැනින් ශිව ලිංගය ගෙනියන්න ලැබුණෙ නෑ. ශිව – පාර්වතී යුවළගේ දිව්‍ය කෝපයට ලක්‌වූ රජු, සමාව අයදිමින්, තම එක්‌ හිසක්‌ කපා වීණාවක්‌ සකස්‌ කර “සාමවේදය” ගායනය සිදුකරලා තියෙනවා. එතැනදී නැවතත් ශිව-පාර්වතී ආශීර්වාදය රාවණට හිමි වුණා. ඊට පස්සෙ එතැන රාවණා රජ්ජුරුවෝ ශිව ලිංගය තැන්පත් කරලා දැවැන්ත කෝවිලක් හැදුවා.


ශිව දෙවියන් හා පාර්වතී දේවිය රාවණා රජ්ජුරුවන්ගේ හිස මත තම කකුල් තියාගෙන ඉන්න මූර්තියෙන් නිරූපණයවෙන කතාව දැන් දන්නවානෙ. “රාවණා රජ්ජුරුවො හැදුවා නම් මේ කෝවිල ඒ තරමටම පරණ වෙන්න එපායැ” කියල ඔබට ප්‍රශ්නයක් මතු වේවි, කෝවිලේ අලුත් අලුත් ඉදිකිරීම් දැක්කාම ඔබට එහෙම හිතෙන්නෙ නැති එක සාධාරණයි.

පෘතිග්‍රීසි ප්‍රහාරය


1622 අප්‍රේල් 14 වැනිදා හින්දූන් අලුත් අවුරුදු උදාව සමරන දවසේ හිත් පිත් නැති පෘතුගීසි සෙනෙවියෙකු වූ කොන්ස්ටන්තිනෝ ද ෂා ඇතුළු පෘතුගීසි හමුදාව කෝනේෂ්වරම් කෝවිලත් ඒ අසලම පිහිටා තිබූ මහසෙන් රජතුමා විසින් ක්‍රි.ව. 275දී කරවන ලද ගෝකණ්න විහාරයත් විනාශ කරනු ලැබුවා.
පෘතුගීසි ප්‍රහාරයෙන් පූජනීය ශිව ලිංගය, දේව ප්‍රතිමා රැක ගැනීමට පූජකයන් සැඟවුණා
පෘතුගීසීන් අතින් විනාශ වූ අහස් කුස සිඹින කණු දහසකින් විරාජමාන වූ හෙබි පැරණි තිරුකෝනේස්වරම් දේවාලයේ එක් කැටයම් කණුවක් කෝවිල් භූමියේ කඳුගැටය මුදුනේ අදද දැක ගත හැකියි.

කණු දහසේ ශිව දෙව් මැදුරේ ඉතිරිවූ එකම කණුව

දැන් අපට දක්නට ලැබෙන කෝවිල 1963දී අලුත්වැඩියා කරලා ඊට පස්සෙ වෙන වෙන අලුත් අංග එකතු වෙච්චි අලුත් කෝවිලක්. පෞරාණික බව පෙනෙන්නට ඇත්තේ ගොඩනැගිලිවල නොවෙයි, ශිව ලිංගය හා දේව ප්‍රතිමාවලයි. මොන ආක්‍රමණයක් වුණත් මේ පින් බිමේ ගැබ්වුනු ආධ්‍යාත්මික ශක්තිය විනාශ කරන්න ඒ කාටවත් බැරිවෙලා තියෙනවා.

උදේ 6.30, දවල් 11.30, හවස 4.30 යන වේලාවලට පූද පූජා කටයුතු දවසකට තුන්වරක් පැවැත්වෙනවා. සාමාන්‍යයෙන් සිරිතක් හැටියට දහවල් එකේ සිට හවස තුන දක්වා පූජා කටයුතු සිදු කෙරෙන්නේ නැහැ. ඒත් යන එන බැතිමතුන්ට වැඳුම් පිදුම් කිරීමට ඒකෙන් කිසිම බාධාවක් නැහැ.
පූජා වට්ටිය කුරුක්කල්තුමන්ලාට භාර දෙන්න කලින් පඬුරු තියන්න අවශ්‍යයි . පූජා වට්ටිය උඩ සල්ලි කොළ තියලා පඬුරු ඔප්පු කරන සිරිත කෝනේෂ්වරම් කෝවිලේ නැති හින්දා කාර්යාලයට ඔබට කැමති මුදලක් ගෙවලා, ඔබේ බාරහාර වෙන කාරණා සියල්ල ලියපු රිසිට් එකක් ඉල්ලගන්න. ඒ රිසිට් එක පූජා වට්ටිය උඩින්ම තියලා පූජා වට්ටිය කුරුක්කල්තුමෙකුට භාර දෙන්න. ඊටපස්සෙ හිතින් ශිව දෙවියෝ එක්ක සමාධිගත වෙන්න ඔයා ආපු කාරණාව ඉෂ්ඨ සිද්ධ කරලා දෙන්න කියලා. කුරුක්කල්තුමා ඉතුරු කටයුතු ටික බලා ගනීවි. මස් මාළු වගේ පිළී සහිත කෑම කන්නේ නැති, 100%ක් නිර්මාංශ, දෙවියන්ගේ ආවතේව කටයුතු වෙනුවෙන්ම කැපව සිටින සෘෂි පරම්පරාවකින් පැවත එන බ්‍රාහ්මණ කුල කුරුක්කල්තුමන්ලා එක්ක කතා කරලා ඔබේ අවශ්‍යතාව අනුව භාර හාර වෙන දේවල් ගැන කතාබහ කරගන්න.
පූජාව අවසානයේ කුරුක්කල්තුමෙක් ඔබ ගෙනාපු පූජා වට්ටි ඔබේ අතටම ආපහු භාර දෙනවා. පොල් ගෙඩියක් එක්ක භාර දීපු පූජාවට්ටි වලට, කුරුක්කල්තුමන්ලා පොල් ගෙඩිය උඩ කපුරු පත්තු කරලා ඔබේ අතට දෙන හින්දා පරෙස්සමට ගන්න ඕනෑ. ඒ පොල්ගෙඩිය අරං ගිහින් කෝවිලෙන් පිටත ඇති පොල් ගහන තැන ගහලා ඔබේ කාරණාව ඉෂ්ඨ වෙන්න ප්‍රාර්ථනා කරන්න.

කෝවිල ඇතුලෙ බිත්තිවල තියෙන රාවණා – කෝනේෂ්වරම් කතා පුවත ඇතුලත් මූර්ති, ශිව හා පාර්වතී දේවියගේ විවිධ ස්වාරූප ඇතුලත් චිත්‍ර හා මූර්ති බලන්නත් අමතක කරන්න එපා.
කෝවිල වටේ බිත්තිවලත් දැවැන්ත ශිව – පාර්වතී චිත්‍ර ඇඳලා තියෙනවා.

අලුතෙන් සෑදූ ශිව ලිංගයක්, ඉපැරණි විෂ්ණු හා ලක්ෂ්මී මූර්ති දෙකක් (1944දි බ්‍රිතාන්‍යයන් ෆෙඩ්‍රික් කොටුව ළඟ මුහුදෙන් හොයාගෙන තියෙන්නෙ) එක්ක නිස්කලංක බිම් කඩක් කෝනේෂ්වරම් කෝවිලට එකතු වෙලා තියෙනවා.
ඉපැරණි විෂ්ණු හා ලක්ෂ්මී මූර්ති
කෝවිලට ඇතුළුවෙන පඩි පෙළ ළඟ, රාවණා කැපුම ළඟ තියෙන මේ කොටස හදලා තියෙන්නේ භාවනා කරන්න කැමති බැතිමතුන්ට ඉඩකඩක් හදලා දෙන්න.
තිරුකෝනේෂ්වරම් පුද බිමේ දරුවන් නොමැති බැතිමතුන්ට කරන භාරහාරයන්ගෙන් ප්‍රතිඵල ලැබෙන බව වඩාත් ජනප්‍රියයි. තොටිල්ලක් සාදා භාරයක් ඔප්පු කළ යුතු මෙම කෝවිලේ භාරවීමෙන් දරුවන් ලැබූ මවුවරුන්ගේ භාරහාර දස දහස් ගණනක් දැක ගන්න පුළුවන්.. ග්‍රහ අපළ නිවාරණයට, නිරෝගී සම්පත්තිය, රැකීරක්ෂා බලාපොරොත්තු, රැකී රක්ෂා හා ව්‍යාපාරයන්ගේ දියුණුව ආදිය ගැන බාරහාර වීමුත් මෙහිදී වැඩි වශයෙන් දැක ගන්න පුළුවන්.

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles