නාරංගල (Narangala)
සටහන හා ජායාරූප රමිත පණ්ඩිතරත්න
ශ්‍රී ලංකා ඉතිහාසය හා සම්බන්ධ ජනප්‍රවාද කිහිපයකට හිමිකම් කියන නාරංගල, ඌව පළාතට අයත් උසින් මීටර 1527 කට ආසන්න කඳුවැටියකී. ක්ෂණිකව දේශගුණික විපර්යාසයන්ට ලක්වන නාරංගල කඳු මුදුනත උසින් අඩු ශාක කිහිපයක් හා තෘණ වැස්මකින් ආවරණය වී ඇත.
නාරංගල වෙත පොදු ප්‍රවාහන සේවයේ පැමිණෙන ඔබ බදුල්ල මධ්‍යම බස් නැවතුම්පොළ ට පැමිණ කීණකැලේ බසයක (අලුගොල්ල හරහා කීණකැලේ) ගොස් එහි ගමනාන්තයෙන් බැස ගත යුතුය (නාරංගල වෙත පැමිණිය හැකි පහසුම හා ලඟම මාර්ගය මෙයයි). කන්ද පාමුල ඇති නිවාස වලින් අවශ්‍ය කෑම බීම හා කඳවුරු බැදීමට අවශ්‍ය කරන අයිත්තම් (camping gears) කලින් වෙන්කරවාගෙන රැගෙන යා හැක. විශේෂයෙන් නාරංගල මුදුනේ හා කඳු මුදුන වෙත පිවිසෙන මාර්ගයේ බීමට ගත හැකි ජල ප්‍රවාහයක් නොවන හෙයින් ප්‍රමාණවත් ලෙස පානීය ජලය රැගෙන යන්න.
නාරංගල මුදුනේ සිට අංශක 360 ක දර්ශන පථයක් දැකබලා ගැනීමට හැකියාව පවතින අතර නමුණුකුල, මඩොල්සිම, ඉදල්ගස්හින්න, උමා ඔය වැනි ස්ථාන ද දැකගත හැකිය. නාරංගල තරණය කරන මාර්ගය දෙපස පඳුරු හා ගල් වලින් යුක්ත වන අතර තැනින් තැන තරමක් උස ශාක දැකගත හැකියි. තරණය අතරතුර මාර්ගයේ දකුණු පසට වන්නට මඳක් බෑවුම් සහගත ස්ථානයක් මුණගැසෙයි. පළපුරුදු කඳු තරණය කරන්නෙකුට නාරංගල තරණය කිරීම ඉතා පහසු කටයුත්තකී.
නාරංගල තරණය කිරීමේදී හා කඳවුරු බැදීමේදී සතියේ දිනවල ඒ සඳහා යොදාගැනීම නුවණට හුරුය. මන්ද සති අන්ත දින වල දී අධික තරණය කරන්නන් පිරිසක් හා කඳවුරු බඳින්නන් පිරිසක් නාරංගල වෙත පැමිනෙන නිසාවේ. නාරංගල මදුනත කඳවුරු බැඳිය හැකි ස්ථාන 5ක් පමණ ඇත. නාරංගල තරණය ආරම්භයේදී ම ගමේ වෙසෙන බල්ලෙකු හෝ දෙදෙනෙකු මග පෙන්වන්නන් ලෙස ඔබත් සමග මුදුනටම ඒවි. ඔවුන්ටත් යම් ආහාරයක් ලබාදෙන්න පුලුවන්. තවද එම සුනඛයින් ගෙන් ඔබගේ පාවහන්, අනෙකුත් ආහාර ආදිය ද ප්‍රවේශම් කොට තබාගන්න.
අප විසින් නාරංගල ගමනේදී යොදාගත්තේ පොදු ප්‍රවාහන සේවයයි. ඒ අනුව පෙබරවාරි 16 දින රාත්‍රී තැපැල් දුම්රියෙන් ගමන් ආරම්භ කළ අප සිව්දෙනා හට අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවිය. දුම්රිය රාත්‍රී 10.30 ට පමණ පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ නවතා දමනු ලැබූවේ රඹුක්කන හා කඩිගමුව දුම්රිය ස්ථාන දෙක අතර වෙනත් දුම්රියක් පීළී පැනීම නිසා එය සකස් කරන තුරුයි. ඒ හෙයින් දුම්රිය පොල්ගහවෙලින් යලිත් ගමන් ආරම්භ කරන වේලාවක් පිළිබඳ පුරෝකථනය කිරීම අපහසු බව අපට රියදුරු ගෙන් දැනගන්නට ලැබිණී. අප පැය 3ක් පමණ බලාසිට පාන්දර 1.30 ට පමණ පොල්ගහවෙල දුම්රිය ස්ථානයට සමුදුන්නේ දුම්රියපොළ අසලින් ගමන් කරන යාපනය – වලස්මුල්ල බසයේ නැගී රංවල හන්දියට යාමේ අරමුනෙනී. නමුත් ඒ වන විටත් බසය පිටත්ව ගොස් තිබූ නිසා අපි මගදී හමුවූ ලොරියක නැග කෑගල්ල නගරයට පැමිණියෙමු. පසුව කෑගල්ල සිට මහනුවරට බසයක පැමිණියේ බදුල්ල බසයක් ලබාගැනීමේ අරමුණෙනී. පාන්දර 3ට පමණ මහනුවරට පැමිණි අපිට දැනගන්නට හැකි වූයේ යලිත් බදුල්ලට උදෑසන 6.30 ට බස් රථයක් තිබෙන බවයි. එහෙයින් අප සිව්දෙනා වැව රවුමට පැමිනියෙමු. ගම්පහ සිට මහියංගනය දක්වා ගමන් කරන සරත් මාමාගේ ලොරිය හමුවූයේ මෙහිදීයි. සරත් මාමා කිසිදු පැකිලීමකින් තොරව අපිව මහියංගනය වෙත රැගෙන ගියේය. මහියංගනයෙන් උදෑසන 7 ට පමණ බැසගත් අපට එවෙලෙහිම බදුල්ල බලා යන බස් රථයක් හමුවිය. මෙලෙස කෙසේහෝ අපට උදෑසන 10 පමණ වන විට බදුල්ල බලා පැමින 10.30 කීණකැලේ බසය අල්ලාගත හැකි වුණී. එහෙයින් කොළඹ සිට බදුල්ල වෙත කඳු තරණය සඳහා පැමිණින ඔබ කෙලින්ම කොළඹ සිට බදුල්ල දක්වා බස් රථවල ගමන් කිරීම නුවණට හුරුය. එමගින් ඔබගේ කාලය හා මුදල් ඉතිරි වනු ඇති බව මගේ අදහසයි.
ප.ලි. – ඔබ විසින් රැගෙන යන ඉවතලන දේවල් යලිත් පහලට රැගෙන ඒමට නොහැකි නම් එම අපද්‍රව්‍ය පිලිස්සීම හෝ පරිසරයට මුදා හැරීම සිදු නොකර, එක්රැස් කර බෑගයක බහාලා අසලින් තබා හෝ එල්ලා යන්න. එවිට ගමේ අයෙකු හෝ තරණය කරන වෙනත් අයෙකු විසින් ඒවා පහලට රැගෙන ගොස් නිසි ලෙස බැහැර කරනු ඇත.
-පණ්ඩි-