spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

නකල්ස් මහ වනයේ අතරමන්ව – අලුගල්කන්දේ කතා #1

මේ කතාව කියන්නෙ ලංකාව පුරා ඇවිදල තියෙන අත්දැකීම් බහුලම සංචාරකයෙක් / ගවේශකයෙක් , ඒ වගේම ඔහුගේ සතු සංචාරක හා සමාජීය දැනුමත් ගොඩක් පුළුල් . ඔහු මුහුන දුන්න සිවිශේශී අත්දැකීමක් විස්තර සහිතව අපේ වෙබ් අඩවියෙන් ඔබට කියවන්න පුලුවන් , කොටස් කිහිපයක මුල් කොටස තමයි මේ .

ඡායාරූප – නිරෝශන් එදිරිසිංහ

කතානායකය වුන හරින්ද රණසිංහ

ට්‍රැවල් යාලුවනේ…

ඔන්න ඉතින් අද මං කියන්න යන්නෙ අලුත්ම කතාවක් .ටිකක් වෙනස් කතාවක්. ලංකාවෙ සමාජ ජාලා පීරුවහම හැමතැනම දකින්න තියෙන්නෙ ට්‍රැවලර්ස්ල ගෙ වීරක්‍රියා, ජයග්‍රහණ, ලස්සන ෆොටෝ ශූට්. ඇත්තටම පරාජයන් හෝ උගත් පාඩම් ඇත්තෙම නැති තරම්. ඒත් මං හිතුව අද පොඩි වෙනසක් කරන්න . ට්‍රැවල් කරන්න ගිහින් වැරදුන අවස්තාවක්,සරලව කිව්වොත් කෙලවෙච්ච කතාවක් ගැන කියන්න. ඒ මොකද කාට හරි ඒකෙන් යමක් ඉගෙනගන්න.මේ සයිට් එකේ මං දාන හැම පෝස්ට් එකක්ම ගමනක් ගිහින් හිතුමතේ කෑම්ප් කරල බජව් දාල එන කතන්දර නොව අලුත් කෙනෙක්ට බලල යමක් ඉගෙනගන්න පුලුවන් දෙයක් තමා දාන්නෙ . මොකද අපි ට්‍රැවල් කරපු කාල දැන් අවසන් වේගෙන එන්නෙ. අලුත් පරපුරට තමා දැන් මේ පරිසරය විඳීම සහ විනාශ නොකර  සුරැකීම කියන දෙකම භාරවෙන්නෙ

වනාන්තරයක ඇවිදිනව කියන්නෙ ඔය ෆොටෝ වීඩියෝ වල තියෙන තරම්ම සොඳුරු අත්දැකීමක් නෙමෙයි. පරිසරය කොච්චර ලස්සන උනත් ඇවිදින හැම මොහොතකම අවදානමක් එක්ක යන බව අපි හිතට ගන්න ඕනෙ. ට්‍රැවල් කරද්දි ඕනම ඔස්තාර් කෙනෙක්ට වරදින්න පුලුවන්. සමහරුන්ට තාම වැරදිලා නැතුව ඇති . සමහරු වැරදුනත් එව කියන්නෙ නෑ. ලැජ්ජාවට, ගර්වයට. ඒත් මට එහෙම නෑ. මොකද මා කියන පුද්ගලය දෙස බාහිරින් ඉඳන් බලන්න දැන් මං පුරුදු වෙලා තියෙනවා .

නකල්ස් කැලේ කියන්නෙ මගෙ මහගෙදර වගේ. යන්න පුලුවන් පැති හැම එකෙන්ම වගේ මං මේ වෙනකොට 30 පාරකට වැඩිය  නකල්ස් ගිහින් තියෙනවා . ඒ හැමපාරම උපරිමයෙන් පරිසරය විඳිමින් අභියෝග ජයගත්තා.  ඒත් එක් ගමනකදි මට වැරදුනා ෆ්‍රෙන්ස්. ඒ තමා අලුගල්කන්ද යන්න ගත්ත මගෙ පළමුවන උත්සහයේදි.
මං මේ කතාව ඔයාලට ගෙන එන්නෙ මට වැරදුනේ කොහොමද, වැරදීම විනාසයක් කර නොගෙන දිවි ගලවාගත්තෙ කොහොමද කියන එකෙන් ඔයාලගෙ ට්‍රැවල් ජීවිතේට යමක් එකතු කරන්න..ඒ වගේම මේ ලිපියෙ දෙවෙනි කොටසෙන් මම බලාපොරොත්තු වෙනව වැරදි හදාගෙන ඒ අභියෝගයම මං ආයෙ සාර්ථකව ජයගත්තෙ කොහොමද කියල කියන්නත්. එහෙනම් බලමු මගෙ කතාවෙ පලවෙනි කොටස

අලුගල්කන්දේ වැරදුනු අභියෝගය සහ දිවි ගලවාගැනීම

2019 ජනවාරි මස දිනක රාතී 11 ට පමණ පිටකොටුවෙන් අම්පාර බලා ධාවනය වූ බස් රියේ නැගී අප තෙල්දෙණියෙන් බැසගන්නෙ උදෑසන  5 ට පමණ.මාවනැල්ල හරියේදි බස් රථය යම් කාර්මික දෝෂයකට ලක් වූ නිසා ගමන ප්‍රමාද වූවා. නුවර හිතවතෙක් හරහා පෙරදිනයේ උඩවත්ත කැලේ ෆොරස්‍ට් ඔෆිස් එකෙන් ලබාගත් ටිකට් පතද අතරමගින් ගන්නට හැකිවුනා.

*** නකල්ස් යනවනම් ටිකට් ගන්න.වගකීමෙන් පරිසරය විඳින නීතිගරුක සංචාරකයෙක් වෙන්න ***


තෙල්දෙණියේ සිට රංගල හරහා තංගප්පුවට පෙර කතා කරගත් ත්‍රී වීල් එකකින් පැමිණියා.උදා හිරු කිරණ වැටෙනවාත් සමගම ගමන පටන්ගත් අපේ අභිප්‍රාය වූයේ නකල්ස් කඳු පංති හරහා ගොස් අලුගල්කන්ද එක් දිනකින් තරණය කිරීම.පටන්ගද්දිම තංගප්පුව ගමේ තේ වත්ත දිගේ උඩහට ගමන් කිරීම එතරම් පහසු වූයේ නෑ.

***එක්දිනකින් අලුගල්කන්ද තරණය කරනවානම් තංගප්පුව මාර්ගය සුදුසු නෑ. දුරත් වැඩියි.වෙහෙසත් වැඩියි.සුදුසු වන්නෙ බඹරැල්ලෙන් පටන් ගන්න එක. ***

තේ වත්ත උඩටම පැමිණ උදෑසන ආහාරය ලෙස සැන්විච් අනුභව කලා. එතැන් සිට අනෙක් සගයන් දෙදෙනාටම මග පෙන්වමින් තංගප්පුව – නකල්ස් පීක් මාර්ගයේ ගමන් කලේ මා මීට පෙර කිහිපවතාවක් මේ මාර්ගයේ ගොස් තිබීම නිසා .

අප සමග ආවා තවත් බලු යාලුවො 4 දෙනෙක්. එයාලගෙන් 3 දෙනෙක් නාඹර වයසේ හිටපු පුරුදු කාරයෝ. එක්කෙනෙක් එච්චර වයස නැති පැටියෙක් .මට එයා ගැන අනුකම්පාවක් තිබ්බෙ මොකද මේ ගමන එයාට බරපතල වැඩී.මං එයාට බට්ටී කියා නම තැබුවා .’

කෙමෙන් කෙමෙන් කොටගඟ පතන, ඉන්පසු අලුගල්ලෙනට යන මංසංධිය පසුකරමින් අප නකල්ස් පීක් මාවතේම ඇදුනා.මීදුමින් වැසීගිය පරිසරය ගෙනදුන්නේ අඳුරු සහ ගුප්ත සහගත හැඟීමක්. පරිසරයෙන් දෙන සමහර පණිවිඩ තේරුම් ගැනීමට හැකිවූවා නම් මා එදින පත්වන අකරතැබ්බය කලින්ම තේරුම් ගන්න තිබුණා.මීඳුම් අඳුර සහ හිරිපොද වැස්ස මෙවැනි දුෂ්කර ගමනකට නුසුදුසු බව නොතේරුණේ තාවකාලිකව හෝ එකී පරිසර තත්වයන්ගේ ආශ්වාදයට ලොල්වීම නිසා..ක්‍රමයෙන් මඳක් ප්‍රමාදවී නමුත් පලමු වන පීක් එකට අපි ආවා.එතනින් දෙවැන්න.ඉන් පසු තෙවැන්නට. නකල්ස් පීක් මින් පෙර මා කිහිපවතාවක් තරණය කර තිබුණත් වැස්සෙ ලිස්සන සුලු මං පෙතක් ඔස්සේ පැමිණීම නිසා මා වෙනදාට වඩා වෙහෙසකට පත්ව සිටියා. අනික ඒ කාලෙ වනවිට මාගේ ශාරිරික යෝග්‍යතාව , ශරීරයේ බර මා නිසිපරිදි පවත්වාගෙන තිබ්බෙ නෑ.

*** දීර්ඝකාලීනව අසීරු පරිසර මංපෙත් වල සංචාරය කරනවනම් ශාරීරික යෝග්‍යතාව ගැන සුලුවෙන් හිතන්න හොඳ නෑ. සමාජජාලා වල තියෙන එක ෆොටෝ එකකින් වත් හෙලපු දාඩිය, හලපු හති නිරූපණය වෙන්නෙ නෑ..හිතේ ආසාව තිබ්බ පමණින් හැම ගමනම යන්න බෑ . අනික ශාරිරික යෝග්‍යතාව නැතුව ක්‍රිඩා තරගයකට ගියොත් ලැබෙන පාඩුව පරාජය විතරයි . එහෙත් දුෂ්කර වනාන්තරයක ඒක ඊට වඩා දරුණු ප්‍රතිපල ගෙන දෙනවා ***

අලුගල්කන්ද යන්න නිෂ්චිත මං පෙතක් නෑ..වඩාත්ම සුදුසු ක්‍රමය වන්නෙ 4 වෙනි පීක් එක සහ පස් වන පීක් එක අතර gap එකෙන් දකුණට හැරිල යන එක.ඒත් එදා අපි තෝරගත්තෙ  3 වන පීක් එකෙන් යන්න. ගූගල් මැප් එක බලං කුඩා කඳු වැටි නගිමින් බහිමින් කුරුගස් අස්සෙන් මඳ වැසි අතරින් ලිස්ස ලිස්ස ගිය ගමන නිසා මා වෙහෙසට පත් වෙලා හිටියෙ .වෙලාව 1.15 යි ඈතින් අලුගල්කන්ද පේනවා. මේ අවස්තාවෙදි මං තීරණයක් ගන්නව. මේ ගමන එදාම ගිහින් එන්න නම් මගේ වේගය ප්‍රමාණවත් නෑ.ඒ නිසා මා මිතුරන් දෙදෙනාට කියනව “ඔයාල ගිහින් එන්න මං මෙතන ඉන්නම්” කියලා.

මීදුමෙන් වැහුන අලුගල්ලෙනේ කොටසක් ඈතින්

****ගමනකට තුන් දෙනා නරකයි කියල පැරැන්නො කිව්වෙ මේ නිසා…දෙකට බෙදුනොත් එක් අයෙක් තනි වෙනවා.****

මතු සම්බන්ධයි

දෙවන කොටස – https://trip.lk/index.php/activities/hiking-alugalkanda-in-kuckles-2/

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles